Thursday, March 7, 2013

ආගමික ත්‍රස්තවාදය

පුලස්ති රාජපක්‍ෂ මහතා විසින් රචිත ආගමික ත්‍රස්තවාදය කියන පොත ගැන තමයි මේ කියන්න යන්නේ.‍ ලෝකයේ බහුතරයක් අදහන කතෝලික, ඉස්ලාම් හා යුදෙව් වැනි ආගම් ප්‍රධාන කොටගෙන ඒ ඒ ජාතීන් හා ඒ ඒ රටවල් අතීතයේ පටන් තම ආගම ව්‍යාප්ත කිරීමට යොදා ගනු ලැබූ විවිද ක්‍රියාමාර්ග පිළිබදව මෙම පොතෙන් පෙන්වා දෙනු ලබනවා.

නොදත් කරුණු රැසක් දැනගැනීමට මෙම පොතෙන් අවස්ථාව දෙනු ලැබූවත් ඇතැම් ස්ථාන වල අක්‍ෂර විනඥාසය හා කාලය සමග පුද්ගල සබඳතා ප්‍රකාශ කිරීමට යාමේදී දෝශ කිහිපයක්ම පැවතීම මෙම පොතේ කරුණු වලට යම් හානියක් කර ඇති බවක්ද පැවසීමට සිදුව තිබෙනවා.උදාහරණයක් ලෙස 2000 දශකයේ ඉරාක ආක්‍රමණය වෙනුවට ඇතැම් අවස්ථාවල වැරදීමකින් ඉරානය යයි එම ස්ථානවල සටහන් වීම මෙන්ම නැපෝලියන් බොනපාට් හා සමකාලීනයකු බවට බෙනීටෝ මුසලෝනී දැක්වීම ඉතාම පරස්පරයි. එසේම බොහෝ අවස්ථාවල පවසන කාරණා අනුව මැදිහත් ස්ථානයකට වඩා පූර්ණ වශයෙන් ඇමරිකානු විරෝධී ස්ථානයක සිට කතුවරයා අදහස් දක්වනවාදැයි සැකයකුත් මතුවන බව පැවසිය යුතුයි.

කෙසේවෙතත් එවන් දෝශ පැවතියත් ඉතිහාසයේ ඇතැම් කරුණුකාරණ පිළිබදව නැවත වරක් සොයා බැලිමට අවස්ථාවක් මෙම පොතෙන් ලබා දෙන බව නම් පැවසිය යුතුයි. තවද මෙය කතෘ ප්‍රකාශනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.