Thursday, April 26, 2012

Digital කැමරා, පරිගණක, Photshop වගේ මෘදුකාංග හදුන්වාදෙන්න ඉස්සර රාජ්‍ය නායකයෝ පින්තූර වෙනස් කර තමන් හා නොරොක්වුන අය ඉවත්කල බවට උදාහරණ - How World Leaders done Photo Correction before Photoshop & other sutff invented

අද කාලේ නම් ඡායාරූපයක් අවම දක්‍ෂතා මත වුවත් කැමරාවට නතුකරගෙන පස්සේ ඒක ඕන ඕන විදියට වෙනස් කරගන්න පහසුකම් සෑහෙන්න තියෙනවා. ඒ Digital Camers, Computes සහ Photoshop වගේ මෘදුකාංග භාවිතයෙන්. ඒත් ඒවා සොයා ගන්න සෑහෙන්න කාලෙකට ඉස්සර කොටින්ම කියතොත් 1814 දී මුල්ම සේයාරුව ගත්තට පස්සේ ටික කාලයක් ගිය තැනම මේ වැඩේට එදා හිටිය අයියලත් (සොරි, අයියල කියන්නේ කොහොමද අපේ වයසේ හැටියට මුත්තල වෙන්න ඕන) මේ අළුත් ගැජට් නැතුවම වැඩේට බැහැල තියෙනවා. හොද වෙලාවට මේ උදාහරණ විදියට පෙන්නන පින්තූර ටිකක් දේශපාලනේට සම්බන්ධ නිසා හොදයි. ඒත් කියන්න බැහැ එදා හිටිය හාදයොත් කාන්තාවන්ගේ හිස සහ කද වෙනස් අයගේ හිස සහ කද වලට බද්ද කිරීමේ කිරිමේල් වැඩත් කරාද කියන එකනම්. මෙන්න උදාහරණ කිහිපයක්ම ;

මෙන්න මේ පින්තූරය තමයි දැනට බොහෝ මූලාශ්‍රවල තිබෙන පැරණිම මෙසේ වෙනස් කල පින්තූරය. 1860 දී මේ පින්තූරය එසේ මෙසේ කෙනෙක් වෙනුවෙන් නෙමෙයි වෙනස් කර තිබෙන්නේ. ඇමරිකාවේ 16 වන ජනපති ඒබ්‍රහම් ලින්කන් වෙනුවෙන්. මේ අයිකොනික් පින්තූරයේ ලින්කන්ගේ මූන සවිකර තිබෙන්නේ ඇමරිකාවේ 7 වන උපජනාධිපති සහ ලින්කන් ජනපති පුටුවට පත්වීමට පෙරාතුවම මිය ගිය  John Calhoun ගේ ශරීර කොටසටයි.


මේ පින්තූරය තමයි ඒ විදියට වෙනස් කරන ලද දෙවන පැරණිම පින්තූරය මට ලැබුන. කාලය 1864 දී, ඒ ඇමරිකානු සිවිල් යුද්දය සමයේදී. මේ අශ්වයාගේ පිටේ නැගල උජාරුවෙන් ඉන්න මහත්මයා තමයි General Ulysses S. Grant.

මේ තරුපටි ගහපු ඒ වගේම ඇමරිකාවේ 18 වන ජනාධිපතිවරයාත් වූ මෙම මහත්මයාගේ මේ පින්තූරේ හදපු එකක් කියලා පස්සේ කාලෙක ඇමරිකාවේ කොන්ග්‍රස් පුස්තකාලය කරන ලද ගවේෂනයකදී සොයාගත්තා.

සැබවින්ම කියනවා නම් පින්තූර තුනක් එකට එකතු කිරීමෙන් තමයි මේ පින්තූරය හදලා තියෙන්නේ. මුහුණු අරගෙන තියෙන්නේ මේ පළමු පින්තූරයෙන්. දෙවන පින්තූරයේ අශ්වයා සහ එහි සිටින පුද්ගලයා Major General Alexander M. McCook ඔහුගේ මුහුණට පළමු පින්තූරයෙන් මුහුණ අරගෙන බද්ද කරල පසුබිම විදියට යොදා ගෙන තිබෙන්නේ තෙවන පින්තූරයයි.

මෙන්න ඇමරිකන්කාරයන්ගේ තවත් පින්තූර වෙනස්කිරිල්ලක්‍. මේක කරල තියෙන්නේ 1865 දී. ඒ කාලේ ජනරාල්වරුන්ගේ රැස්වීමකට එන්න බැරි වුන තවත් ජනරාල් කෙනෙක් එක්කිරීම තමයි කරල තියෙන්නෙ. මෙන්න ඒ පින්තූරත්

ඔන්න ඉතින් සමහරු දතමැද ගෙන ඇති ඇමරිකන්කාරයෝ පට්ටගහන්න., උන් එදා ඉදලම කරන්නේ හොර වැඩ කියලා. නැහැ, නැහැ මෙන්න සමාජවාදී සෝවියට් දේශයත් හරි හරියට Photo editing වැඩ කරල තියෙනවා. මෙන්න සාක්කි -

අපි දැනගෙන හිටියේ නැති වුනාට සෝවියට් දේශයේ අසහාය නායක ලෙනින් සහෝදරයාත් පින්තුර Edit කරන වැඩේට අතගහල තියෙනවා. මුල් පින්තූරයේ තමන්ගේ පිටුපසින් සිටිය ගොවින් පස්සේ පින්තූරයේ නැහැ. මොකද ඔවුන්ට සෑහෙන්න සල්ලි තිබනුත් සමාජවාදී න්‍යාඥ යටතේ ඒවා දුප්පතුන්ට දීමට අකමැති වීම නිසා ඔවුන් ජීවිත්වීමේ අයිතියෙන් ඉවත් කරනවාත් සමග පින්තූරයෙනුත් ඉවත් කරන්න පසුබට වෙලා නැහැ‍. හැබැයි මේකේ සිටින ඇතැම් කුඩා දරුවන් පවා ඉවත්කලේ වැරදීමකින්දැයි නොදනිමි.

මේ ලෙනින් කතා කරන රැස්වීමක්. ඒත් සෙනඟ එච්චර නැහැ. ඒ කාලේ ඉතින් බස්වලින් සෙනඟ අද්දන්නයැ. ඉතින් මේ පින්තූරය පත්තරේ පලවෙන කොට සෙනඟ නොහිටියයි කියල මිනිස්සු දැන ගත්තොත් ලැජ්ජාවටද කොහේද පස්සේ සෙනඟ හිතාගන්නවත් බැරිගානක් දාල වෙනස් කරලා.

1930 දී පමණ වෙනස් කරන ලද පින්තූරයෙන් මුලින්ම ස්ටාලින් ලග හිටිය කෙනා පස්සේ එයින් ඉවත්කරල. බොහෝවිට ස්ටාලින්ට මේ මනුස්සය එක්ක මොකක් හරි කෝන්තරයක් තියෙන්න ඇති. හැබැයි ඉතින් කණගාටුවට කාරණේ තමයි බොහෝවිට මෙලොවිනුත් ඒ වන විට මේ පුද්ගලයා ස්ටාලින්ගේ අනින් ඉවත් කරල තියෙන්න ඇති.

ස්ටාලින් ඉන්න මේ පින්තූරයේ දෙන්නෙකුටත් වෙන්න ඇති දේ අමුතුවෙන් කියන්න ඕනැ නැහැ.

ස්ටාලින්ගේ හැටි දන්න කෙනෙක් ඔහුත් එක්ක විහිළු කරන්න යනවද? මේ වම්පස පින්තූරයේ දැක්වෙන පුද්ගලයා ස්ටාලින්ට මොනපැත්තෙන්ද යන්නේ කියන එක පෙන්වනවා. ස්ටාලින් වගේ උත්තරීතර පුද්ගලයෙකුට පාර පෙන්වන්න මේ වගේ හාල්පාරුවෙකුට පුළුවන්ද? ඒබව සනාථ කරමින් පසුව පලකෙරුන දකුණු පැත්තේ සේයාරුවෙන් ඔහුව ඉවත්කර ඇත.

ස්ටාලින් විතරක් නෙමෙයි. ‍මාවෝ සහෝදරයත් ඒවගේ දේවල් වලට අතගහල තියෙනවා. 1936 දී මේ දකුණු පැත්තේ පින්තූරයේ වම් පැත්තේ ඉන්න හාදයා පස්සේ පින්තූරවල නැහැ. මාවෝ එක්ක මොකක් හරි ආරෝවක් තියෙන්න ඇති. ඒකට දුන්න පනිෂ්මන්ට් එක තමයි මේ.

1937 ට අයත් යැයි කියන මෙම පින්තූරය නම් තරහක් නිසා එක් පුද්ගලයෙක් ඉවත් කලා යයි සිතන්න අමාරු එකක්. මොකද හිට්ලර් සහ ගොබෙල්ස් යන දෙදෙනාම සිටින මේ පින්තූරයෙන් පසුව ගොබෙල්ස් ඉවත් කිරීම හිතා ගන්න බැරි කාරණයක්.

1939 පින්තූරයක් වන මෙහි වම් කෙලවරේ සිටින්නේ කැනඩාවේ අග්‍රාමාත්‍ය William Lyon, එතකොට මැද සිටින කාන්තාව එලිසබෙත් රැජින. එතකොට දකුණු පසින් සිටින්නේ මෙතන ඉන්න ප්‍රභලම කෙනා ඒකින්නේ මහා බ්‍රිතාන්‍යයේ VI වන ජෝර්ජ් රජතුමා. ඒත් මේ අගමැති මාරම මිනිහෙක් තමන්ගේ මැතිවරණ කටයුත්තකට මේ පින්තූරය යොදා ගැනීමට රජ්ජුරුවෝ ඉවත් කරල රැජින විතරක් පින්තූරයේ ඉතිරි කරල. මේකෙන් මොනවගේ අදහස් දෙන්න මිනිහ හිතාගෙන හිටියද දන්නෑ...

මේ තියෙන්නේ තවත් සෝවියට් photo editing වැඩක්. මුල් පින්තූරයේ සටන් පාඨ හරියට පේනනේ නැති නිසා අළුතින් සටන් පාඨ එක් කරල විතරක් නෙමෙයි. අහල තියෙන කඩේක බෝඩ් එකේ තියෙන රන් සහ රිදී ආලේපිත ඔරලෝසු ගැන තියෙන වැකිය ඉවත් කරල "ඔබගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න" කියන වැකිය එක්කරල.

මෙන්න 1942 පින්තූරයක්. මේකේ සිටින අසරුවා අපි දන්න කෙනෙක්. ඒ බෙනීටෝ මුසලෝනි. ඉතින් ඒවගේ කෙරුම්කාරයෙකුට අශ්වයා පාලනය කරගන්න එක මහදෙයක්ද? ඒ නිසා මුල් පින්තූරයේ සිටින අසු පාලනය කරන්නා ඉවත් කරල වෙන පින්තූරයක් ප්‍රසිද්ධ කළා.
මුසලෝනි ගැන යමක් දැන ගන්න ඕන නම් මෙතනට ගියොත් පුළුවන් -

මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල්


මෙන්න තවත් අයිකොනික් ඉමේජ් එකක්. සෝවියට් හමුදා විසින් බර්ලිනයට ඇතුළු වී හිට්ලර් පරාජය කලාට පසු එහි පාර්ලිමෙන්තු ගොඩනැගිල්ලේ වහලට නැගී සෝවියට ධජය ඔසවන අවස්ථාවේ එම සෙබලාට සහය වන අනෙක් සඟයාගේ අත් දෙකේම ඔරලෝසු දෙකක් තිබිල තියෙනවා. Ogoniok කියන සඟරාවේ මෙය පලකරන්න යන අවස්ථාවේ එම සඟරාවේ කතෘතුමා තැනට සුදුසු නුවන භාවිතා කරල දකුණු අතේ ඔරලෝසුව පොඩි editing පාරක් දාලා ඉවත් කරලා.

මොකද මිනිස්සු අත් දෙකටම ඔරලෝසු බදිනවයි? ඒ අතේ තිබිල තියෙන්නේ හොරකම් කල ඔරලෝසුවක් මොකද කොහොමත් සෝවියට් සොල්දාදුවෝ ජර්මනියට ඇතුළු වෙන අවස්ථාවේ ඔරලෝසු තිබිල නැහැ. ඉන්පසුව තමයි ඔවුන්ගේ අත් වලට ඔරලෝසු ඇවිල්ල තියෙන්නේ මේ බව මීට කලිනුත් ලිපියක කිව්වා සමහර විට ඔබට මතක ඇති. මෙන්න නැවත වරක් එම ලිපිය කියන්න ඕනෑ වුනොත් එහි ලිපිනය -

හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler

මේ පින්තූරය දේශපාලනයට සම්බන්ධ එකක් නොවේ. යූරි ගගාරින් ගැන දන්නවානේ. නොදන්නවා නම් දැනගන්න ඔහු තමයි ලෝකේ පළමුවරට අභව්‍යාකාශයට ගිය මිනිසා. ඉතින් මේ වැඩපිළිවෙලේ ඔහුවිතරක් නෙමෙයි තවත් අභව්‍යාකාශගාමීන් සිටියා. මේ දකුණු පැත්තේ පින්තූරයේ සිටින්නේ ඒ වැඩපිළිවෙලේ වැඩකල ඔහු සහ ඔහුගේ සඟයන්. ඒත් වම් පැත්තේ පින්තූරයේ පිටිපස්සේ සිටින එක්කෙනෙක් නැහැ නේද? ඒකට හේතුව තමයි පසුව ඔහු එම වැඩපිළිවෙලින් ඉවත්කරල, මොකද ඔහුගේ කල්කිරියාව එතරම් හොද නැතිළු!

මෙන්න 1971 දී වෙනස් කරන ලද තවත් දේශපාලන පින්තූරයක්. මෙහි නිධාන කතාව නම් සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂ මහලේකම් ලියනොඩ් බෲශ්නේව් සහ බටහිර ජර්මනියේ චාන්ස්ලර්වරයා  හමුවූ අවස්ථාවක හොදට බීලා, සිගරට් බිබි සිටින අවෂ්තාවක්, ඒත් මේක පලකොරන්න පුළුවනෑ, රටේ නායකයෝ බිබි පිස්සුනටන ඒවා. ඉතින් වම් පැත්තේ පින්තූරයේදී ඒ අඩුපාඩු මකලා නියමෙට ෂකෂ් කොරල තියෙනවා.

මේ පින්තූරයත් තියෙන්නේ කොමියුනිස්ට් නෑකමක්. මාවෝ මැරුණට පස්සේ (මැරුණා කියන වචනේ කැමති නැත්නම් ඒකට සුදුසු අභාවප්‍රාප්ත, කළුරිය වගේ වචනයක් ආදේශ කරගන්න) පැවැත්වුන ඔහු සිහි කිරීමේ උත්සවයකදී, මාවෝගේ අසාර්ථක හා කුරිරු සංස්කෘතික විප්ලවයේ නියමුවන් වූ හතරදෙනාගේ කල්ලියේ කට්ටිය වම්පැත්තේ පින්තූරයේදී ඉවත් කරල තියෙන්නේ.

මේ හතරදෙනාගේ කල්ලිය ගැන සුළු විස්තරයක් මෙන්න මේ ලිපියට ගියොත් බලා ගන්න පුළුවන්.

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්,


මේ වගේ වෙනස් කරපු පින්තූර තව ගොඩක් තියෙනවා. ඒ ගැන මේන්න මේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් බලා ගැනීමට හැකියි.
http://www.fourandsix.com/photo-tampering-history/
http://letsrollforums.com/new-york-times-brief-t23643.html?s=5bade9a9fca88f41e772f3d17d6ebc61&
http://www.dailymail.co.uk/news/article-2107109/Iconic-Abraham-Lincoln-portrait-revealed-TWO-pictures-stitched-together.html



Wednesday, April 25, 2012

ඔපෙරාවෙන් බිහිවුන වාර්ගිකත්වය, විසිවන සියවසේදී ජර්මනියෙන් බිහිවූ නව ක්‍රිස්තුස්වහන්සේ සහ අදුරේ බලය සොයා ගිය වුන් ගැන - Before WWII - Part VII

ලෝකයේ හෝ යම් රටක හෝ යම් ආයතනයක සිදුවන්නාවූ දේවල් ඇතැම්විට ක්‍ෂනිකවම සිදුවූවත් සමහරවිටක එම දේවල් සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගෙන සංකල්ප, සිද්ධාන්ත, අන්තවාදී කොටස්වල බලපෑම හා සාම්ප්‍රධායික වෛරී සහගත ආකල්ප වැනි මානුශික වශයෙන් බලපෑ හැකි හේතුද පදනම් කරගෙනය.

අප වෙසෙන තෙවනලොව පෙරදිග රටවල ජ්‍යෙතිශය හා වෙනත් අදෘෂ්‍යමාන ගුප්ත බලවේගයන් ගැන විශ්වාසය තබන මිනිසුන් බහුලවනවා සේම ඇතැම්විට යම්කිසි කාර්යයකට අතතබන්නේ එම බලවේගයන් ගැන උපරිම විශ්වාසයන් තබා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඒත් කාර්මීකරණයේ බලපෑමෙන් වේගයෙන් දියුණු වූ සහ පසු කලෙක පළමුලොව දියුණු සංවර්ධිත රටක් වූ ජර්මනිය වැනි රටක හිට්ලර්, හෙස්, හිම්ලර්, රොසන්බර්ග් වැනි මිනිසුන් විශ්වාස තබා කටයුතු කළා යයි කීමත් තරමක් හිතගන්නටත් නොහැකි කටයුත්තක්. එහෙත් ඒ දේවල් ඒ සැටියෙන් සිදුවූ අයුරු මෙම ලිපියෙන් හැකිතාක් දුරට අපි සොයා බලමු.

හිට්ලර් සතුවූ අන්තවාදී යුදෙව් විරෝදය හා ජර්මන් ජාතිවාදය මෙම දෙවන ලෝක යුද්දය මතුපිටින් බලන්නෙකුට, යුදෙව්වන් පළමු ලෝක යුද්දයෙන් පෙර සහ පසුව ජර්මනියේ ස්වදේශීය ජර්මනුවන් අභිබවා සිටි නිසා ඇතිවූ මනෝමූලික බලපෑම නිසා ඇතිවූ බවක් පෙනුනද එය එයට වඩා ගැඹුරට විහිදී ගිය කරුණක්.

19 වන සියවසේ ජර්මනියේ සිටි විශිෂ්ඨ ගණයේ ඔපෙරා සංගිතඥයෙකු වූ Richard Wagner ගේ (1813 - 1883) ජර්මානු අභිමානය කැටිකරගත් ජර්මන් පූරාණ කථා තේමාවන් උපයෝගී කරගෙන තැනූ ඔපෙරාවන් ඔහු විසින් සම්පාදිත විවිද ලේඛණයන්, දේශපාලන මත යනාදිය හිට්ලර් තුල ජර්මන් ජාතිය ශ්‍රේෂ්ඨතමයන් බව මෙන්ම අන්‍යයන් අනුපිළිවලින් වැදගත් හා වැදගත්ම නොවන ජනකොටසක් සේ සැලකීමට හේතුවන්නාවූ මානසික ව්‍යාධිය ඇතිවීමට ප්‍රභල බලපෑමක් ඇතිකරන්නට විය. සැබවින්ම මෙම සංගිතඥයා වර්ගවාදය හා යුදෙව් විරෝදය පිළිබදව විවිද කෘති හා මත පලකරන ලද්දෙක් වූ අතර ඔහු විසින් 1850 දී සම්පාදනය කරන ලද "Judaism in Music" හෙවත් "Jewishness in Music"නිබන්ධනයේදී සමකාලීන යුදෙව් ආකල්ප, දක්‍ෂතාවයන් හා යුදෙව් ජනයා හෙලාදකිමින් අදහස් පල කර තිබේ. ඔහුගේ මතය අනුව යුදෙව්වන් ජර්මානු සමාජයට පිටතින් පැමිණියවුන් වූ අතර ජර්මන් අධ්‍යාත්මයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති හානිකර ප්‍රජාවක් ලෙස පවසන්නට වූ අතර ඔහු නියෝජනය කල සංගීත ක්‍ෂෙත්‍රයේදී පවා යුදෙව් නිර්මාණශිල්පීන් කෙරේ දැක්වූයේ පරභව ආකල්පයකි. එම සංගිතඥයන් ගැඹුරින් සංගිතය හැදෑරු අය ලෙස ඔහු නොසැලකූ අතර එම නිර්මාණ කෘත්‍රීම ඒවා ලෙසද සැලකීමට පසුබට නොවීය.

හිට්ලර් 12 වන වියේදී
එම නිබන්ධනයට අමතරව විවිද අවස්ථාවල ඔහු විසින් පලකරන ලද ලිපි වල පසුකලෙක නාසිවාදයෙන් පවා කියවුන වාර්ගිකත්වය හා යුදෙව් විරෝදය සැ‍බැවින්ම නිරූපනය විය. හිට්ලර්ට Wagner ගේ ඔපෙරාවක් දකින්නට ලැබුනේ වයස අවුරුදු 12 ක ළමයෙකුව සිටින අවදියේදී බව පැවසේ. එතැන් සිට ඔහු Wagnerගේ ජර්මානු පෞරානික ශ්‍රී විභූතිය ගැන පැවසුන මිත්‍යා කථා ඇතුලත් ඔපෙරා සංගීතයට පෙම් බදින්නට විය. එය ඔහු නාසීන්ගේ හා ජර්මනියේ ජාතික සංගීතය මෙන් විය.

තවද නාසින්ගේ රැලි පැවැත්වෙන අතරවාරයේ Wagner ගේ සංගිත කණ්ඩ වාදනය කල අතර Dachau සිරකදවුරේදී, එහි රදවා සිටි දේශපාලන සිරකරුවන්ට ඊළග ආත්මයේදීවත් හොද දේශපාලනයක් කරන්නට "අවසන් විභාගය" වදකාගාරවල පැවැත්වෙද්දීද මෙම සංගීත කණ්ඩ වාදනය කල බව පැවසේ. තවද නාසි නිළධාරීන්ට, තමන්ට දැනෙන මානසික විඩාව හා ආතතිය සංසිදුවා ගැනීමටද මෙම සංගීතය ශ්‍රවණය කරන්නට හිට්ලර් නිර්දේශ කර තිබුනි.

Richard Wagner ගේ Parsifal නම් ඔපෙරාවෙන් කියවුන The Quest for the Holy Grail හෙවත් The legend of the Holy Grail කතා තේමාව හිට්ලර් හා නාසින් තුල මධ්‍යතන යුගයේ විශ්වාසයන් කරපින්නා ගැනීමට තවත් හේතුවක් විය. Holy Grail ලෙස බටහිර කිතුනු සමාජයේ සලකන්නේ ජේසුස් වහන්සේ කුරුසප්‍රාප්තියට පෙරදින රාත්‍රියේ සිදුකෙරුන අවසන් භෝජනයේදී භාවිතා කරන ලද පිගාන හෝ කෝප්පයයි. එසේම කුරුසගත කරන ලද පසු හෙල්ලයකින් ඇන්න පසු එතුමාගේ ලේ වැගිරෙන්නට වූ පසුව එම ලේ එකතු කරන්‍න ලද්දේම මෙම බදුනටයි. මේ කාරණා නිසා මෙය ශුද්ධ වූ වස්තුවක් ලෙස සැලකේ.මෙම ශුද්ධ වූ බදුන කිතුනුවන් ශාන්තුවරයෙකු සේ සලකන Joseph of Arimathea විසින් බ්‍රිතාන්‍යයට රැගෙන ආ බව පැවසෙන අතර එය සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ බවද පැවසේ.
(මෙම ආගමික කරුණු උපුටා ගන්නා ලද්දේ අන්තර්ජාලයෙන් නිසා ඒවායේ සදොස් බවක් වේ නම් කිතුනු බැතිමතුකු විසින් එය නිවැරදි කරන මෙන්ද ඉල්ලා සිටිමි).

තවත් ප්‍රසිද්ධම පුරාවෘත්තයක් වන ආතර් රජුගේ කතාවිත්තිය සමග මෙම ශුද්ධ වූ බදුනේ කථා පුවතද එකට සම්බන්ධ වී ඇත. ආතර් රජුද මධ්‍යතන යුගය තේමා කරගත් පුද්ගලයෙකු වන අතර එකල නයිට්වරුන් කිසියම් වීරකමක නියැලී සිටීම සුලභ දෙයක් විය. ඒ අනුව මෙම බදුන සොයා ගැනීම නයිට්වරුන්ට පැවරුන ප්‍රධානම රාජකාරියක් විය. එකල විශ්වාසයන්ට අනුව මෙම බදුන තිබෙන්නේ නිසරු මුඩු බිමක පිහිටා තිබෙන අද්භූත බලකොටුවක වන අතර එය මුරකරනු ලබන‍්නේ  සුව නොවන වනයක් පාද‍යක ඇති නිසා ඇවිදීමට නොහැකි Fisher King නම් රජකෙනෙකු විසිනි (http://en.wikipedia.org/wiki/Fisher_King).

මෙම බදුන පිළිබදව මුලින්ම ලේඛණ ගතවී ඇත්තේ ක්‍රි.ව. 1180 දී ලියවී ඇති ප්‍රංශ ප්‍රබන්ධ කථාවක් වන Conte del Graal ('Story of the Grail'), හෙවත් Perceval වන අතර එතැන්සිට ගතවූ වසර 50 ක පමණ කාලයකදී කතුවරුන් ගණනවක් අතින් මෙම ශුද්ධ වූ බදුන පිළිබදව ගද්‍ය මෙන්ම පද්‍යද ගෙතී ඇත. එ‍සේම තවත් පුරාවෘත්ත හා ඈදීද මෙම ප්‍රධාන කතා වස්තුව ගෙතී ඇත. දහතුන්වන සියවසේදී මේ පිලිබදව ලියවුන Wolfram von Eschenbach ගේ Parzifal සහ Sir Thomas Malory විසින් රචනා කරන ලද Morte Darthur ප්‍රධාන තැනක් ගන්නා අතර මධ්‍යතන යුගයෙන් පසු කාලයක් අමතකව තිබූ මෙම පුරාවෘතය 19 වන සියවසේදී නැවත කරලියට ගෙන ඒමට  Richard Wagner ද ප්‍රමුඛස්ථානයක් ගනී.  ඔහු විසින් නිපදවන ලද Parsifal නම් ඔපෙරාවේදී ඔහුටම ආවේණික ශෛලියකට මෙම පුරාවෘතය නැවත පුනර්ජීවනය ලදහ. පුරාවෘත‍යේ තවදුරටත් කියවෙන පරිදි මෙම ශුද්ධ වූ බදුනේ ඇතැයි පැවසෙන රුධිරය පානය කරන යමෙකුට අසීමිත බලයක් ලැබෙනු ඇතැයි පවසා ඇත. එහෙත් මෙම ශුද්ධ වූ බදුන සොයා ගැනීමට හැකිවන්නේද අපවිත්‍ර නොවූ රුධිරය ඇති නයිට්වරයෙකුටමය. මේ Parsifal කථා වස්තුව හිට්ලර්ගේ සිතට තදින් කා‍වැදුන දෙයක් විය. ඒ අනුව ඔහු විශ්වාස කළේ මෙම අපවිත්‍ර නොවූ රුධිරය ඇති නයිට්වරයා තමන්ම විය යුතු බවයි. ඒ අදහස්ද සහිතව 1938 දී හිට්ලර් නයිට්වරයෙකු ලෙස ස්වස්තික ධජය රැගෙන සිටින මෙම ප්‍රචාරාත්මක රුව නිර්මාණය කරන ලදි.



තවද හිට්ලර්ගේ සමකාලීනයෙකු වූ හිටපු පූජකයකු වූ Lanz von Liebenfels විසින් පලකරන ලද යුදෙව් විරෝධී අදහස් හා ආර්ය සමාජය පිළිබදව ලියූ Ostara සඟරාව හිට්ලර් තුල වර්ගවාදය තවත් පෝෂනය කරන්නට ඉවහල් වූ අතර ඔහු මෙම සඟරාවේ හොදම පාඨකයෙකුද විය.


නාසින්ගේ විශ්වාසය අනුව ආර්යයන්ගේ මුල් බිම අත්ලාන්ටිස් නමින් හැදින්වෙන මහද්වීපයයි. මෙවන් මහද්වීපයක් තිබුනේද? නැත්ද? යනවගට තවමත් ඉතිහාසයඥයන් අතර මතභේදතාත්මක වාතාවරණයක් ඇතිමුත් ගුප්ත දේවල් එකහෙලා පිළිගැනීමට කැමති මධ්‍යතන යුගයේ මිනිසුන් මෙන් නාසින්ද එවන් මහද්වීපයක් තිබූ බවත් එය විනාශ වන මොහොතේ එයින් ගිය පූජකයන් පිරිසක් හිමාල‍ කදුවලින් වටවූ ටිබැටයේ වාසය කරනබවටත් විශ්වාස කලහ. මේ නිසාම පසුගිය ලිපියකද පැවසුවාක් මෙන්, නාසි SS හමුදාවේ ලොක්කා වූ හිම්ලර්ගේ පූර්ණ අනුග්‍රහය මත, මුලින් කල්කටාවටත් එහි සිටි අසීරු ගමන් මාවත් ඔස්සේ ටිබැටයට ගිය විද්‍යාඥ කණ්ඩායම එහිදී හරසරින් පිලිගනු ලැබූ අතර එතැන් සිටි වසරක් පුරා එම මිනිසුන්ගේ ජීවන ක්‍රම හා පරිසරය හැදෑරූ එම විද්‍යාඥයන් එම මිනිසුන්ගේ මුහුණු හා අවයවල දිග පළල මැන්නහ. මූනත් තහඩු වලින් අච්චු සකස් කලේය. ජර්මානුවන්ගේ විශ්වාසය අනුව ටිබැටියන් සතුවූ දිගටි මුහුණු ජර්මානුවන්ටද සමාන බව ඔවුන් විශ්වාස කලේය. මෙවන් මිනිසුන්ගෙන් පැවත ආ උතුරු යුරෝපයේ විසූ මිනිසුන් Nordic වරුන් ලෙස හදුන්වන ලදි.

(පහත දැක්වෙන්නේ ටිබෙටයේදී ජර්මන් විද්‍යාඥයන් විසින් සිදුකල ගවේශන හා සිදුකල ක්‍රියාකරකම් පිළිබදව නිදසුන්ය)










නාසින්ගේ විශ්වාසය අනුව සහ එයට පෝෂනය ලැබුන  Richard Wagner‍ ‍ගේ නිර්මාණ අනුව රුධිරය යනු යම් වර්ගයක ආත්මය, ආධ්‍යාත්මය සහ විශිෂ්ඨත්වය කැටිකරගත් මූලිකම ඒකකය විය. මේනිසා නාසි විවිද නාසින්ගේ විවිද උත්සවවල රුධිර වන්දනාවක්ද තිබුනි. මේ අදහස් විසිවන සියවසේ දෙවන දශකයේ සිට  ජර්මනිය තුල මුල් බැස්සවීමට නාසි න්‍යඥාචාර්ය Alfred Rosenberg ගේ වාර්ගිකත්වය පිළිබදව වූ අදහස් හා ඔහු විසින් ඒ සම්බන්ධයෙන් සම්පාදනය කරනා ලද ලේඛණද ප්‍රභල තැනක් ගන්නා ලදි (http://www.jewishvirtuallibrary.org/jsource/Holocaust/Rosenberg.html).


හිට්ලර් ප්‍රමුඛ නාසින්ගේ විශ්වාසය අනුව අත්ලාන්ටිස් කාලයේ විසූ ආර්යයන් හට සුපිරි බලයක් සහිත විය. එය සාමාන්‍ය මිනිසුන්ට නොමැති ආකාරයේ බලයක් විය. එහෙත් එම ආර්යයන් පසුකලෙක වෙනත් ජාතින් හා මිශ්‍රවීමත් නැතහොත් පිරිසිදු ආර්ය රුධිරය පිටස්තරයන්ගේ රුධිරය හා මුසු වීමත් සමග ඔවුන් සතුවූ අද්විතීය බලය හීනවී නැතිව ගිය බව නාසින්ගේ අන්තවාදී විශ්වාසයක් විය.

Rosenberg ගේ මතය අනුව නැවත අභිමානවත් ආර්ය සංස්කෘතිය උත්පාදනයවී ඇති බව වූ අතර හිට්ලර් එය තවදුරටත් තහවුරු කරමින් පුරාණ සාම්ප්‍රධායිකත්වය ආර්ය සංස්කෘතිය තවත් දියුණු කරමින් සැඟව පවතින පැරණි විද්‍යාවන් ජර්මන් ‍ජාතිය නැතිවූ ගෞරවය ලබාදී බබලවනු ඇතැයි පැවසූහ. හිට්ලර් හා ප්‍රධාන පෙලේ නාසින්ගේ සහභාගීත්වයෙන් පැවතුන උත්සව හා රැලි ආදියේදී පැරණි රෝම සම්ප්‍රධායේ ඇදුම් පැලදුම්, විවිද සංකේත සුලභව දැකගත හැකිවිය. නූතන කලාකෘති ප්‍රතික්‍ෂේප කල හිට්ලර් ඒවා දූෂිත යයි සැලකූහ. තවද මිනිසුන් විසින් නාසින් වීරවරුන් සේ සැලකීම ඔවුන්ගේ අපේක්‍ෂාව විය. ජර්මනිය මුහුණ දෙන සියළු දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන බලවේගයන්ගෙන් මුදවාලිය හැක්කේ මෙම වීරයන්ට පමණක් බව මිනිසුන් විශ්වාස කල යුතුවිය. එයට ආධාරවන්නාවූ ප්‍රචාරණ වැඩ පිළිවෙලක්ද ඔවුන් සතුවිය.


ෆැසිස්ට්වාදී සංකල්පය කරපින්නාගත් හිට්ලර්ට සාමය, සහජීවනය උගන්වන කිතුදහම නොගැලපෙන්නට විය. ඒ අනුව නාසි සංකල්පයට ගැලපෙන නව ආගමක් අවශ්‍ය වූ අතර එහි නායකයාද අසමසම හිට්ලර් විය. ඒ අනුව නාසින්ට ඔහුව විසිවන සියවසේදී බිහිවූ ක්‍රිස්තුස්වහන්සේ මෙන් විය.හිට්ලර් පිළිබදව තැනූ ඇතැම් වාර්තාමය චිත්‍රපටි හෝ පෝස්ටර් වල ඔහු පල්ලියටත් වඩා ඉහලින් සිටින අයෙකු බව හැගවෙන සේ ඉලිප්පීම සුලභ විය.

ජර්මනියේ සිටි ජෙහවාගේ සාක්‍ෂිකරුවන් නම් වූ කිතුනු බැතිමතුන් තෙවන අධිරාජ්‍යයට සහය නොදක්වන ලදි. එසේම ඔවුන් ආණ්ඩුවටද සහයක් නොදැක්වූ අතර අවි දැරීමද අනුමත නොකරන ලදි. හිට්ලර්වැනි පාලකයෙකුට මෙවන් විරෝධතා දැක්වීම සැබැවින්ම ව්‍යවසනයක ඇරඹුමක් විය. මෙම බැතිමතුන් බොහෝ දෙනෙකුට පසුකලෙක දිවි ගෙවුමට සිදුවූයේ සමූහ සිරකදවුරුවලය. එවන් ජෙහවාගේ සාක්‍ෂිකරු බැතිමතකු විසින් අදිනා ලද,  මෙම චිත්‍රයෙන් පෙන්නුම් කෙරුනේද බහුතරයක් ජර්මානුවන් හිට්ලර් සාන්තුව‍රයෙකු ලෙස දුටු ආකාරය අවඥාසහගතව නිරූපනය කර ඇති අයුරුයි.

මේ නව ආගමේ සලකුණ නාසි පක්‍ෂයේද සලකුන වූ ස්වස්තිකයම විය. ස්වස්තිකය ලෝකයේ විවිද සංස්කෘතින්වලදී දැකිය හැකි බහුල සලකුනක් විය. එය පෙරදිග අපරදිග කියා වෙනසක් නොවූ අතර වෙනස වූයේ එය භාවිතා කරන සංකල්පයයි. පුරාතන චීනයේ එය වාසනාවේ සංකේතයක් විය. අද දක්වාම හින්දු හා බෞද්ධාගමේ එය පූජනීය සලකුනක් වේ. තවද යුරෝපයේ සිටි නයිට්වරුන්ගේ පලිහේ එය සලකුණු කර තිබුනේ එයින් මැජික් ආරක්‍ෂාවක් ලැබේ යන අදහස මතයි. තවත් විවිද විශ්වාසයන් ගණනාවක් ස්වස්තිකය පිළිබදව ඇති මුත් හිට්ලර්ට ස්වතිකය පිළිබදව තිබුනේ වෙනමම මතයකි. ඔහුගේ මතය අනුව "ස්වතිකය තුල ආර්ය මිනිසුන් මුහුණ පා ඇති අසීරු තත්ත්වයෙන් මිදීමේ ජයග්‍රාහී මාවත අන්තර්ගතව ඇත" යන්නයි.


හිම්ලර්ගේ අයෝමය පාලනය යටතේ වූ SS හමුදාව ජර්මානුවන්ගේ සුපිරිතම මිනිසුන්ගෙන් හා නූතන වීරයන්ගෙන් පිරුණ අසහාය මිනිසුන්ගෙන් සමන්විත වූ බලමුළුවක් සේ සලකන ලදි. SS භටයෙකු බවට පත්වීම පවා ලේසිපහසු දෙයක් නොවීය. මෙම බලකායට බදවා ගන්නා සෙබළුන් සත්‍ය ජර්මානුවන්දැයි දැනගැනුමට පරම්පරා කිහිපයක්ම ආපස්සට ඔවුන්ගේ තොරතුරු සොයා බලන ලදි. සැකවින් කියතොත් 1715 දක්වා ඔවුන්ගේ පැටිකිරිය විමසා බැලිනි. ඔවුන් අඩි 5 අඟල් 9 ක් උසවිය යුතුවිය. එහි නායකයා වූ හිම්ලර්ගේ උසවූයේද මෙම උසයි. ඔවුන්ගේ හිසකේ තඹ විය යුතු වූ අතර ඇස් නිල් පැහැයෙන් යුතු වූහ. එසේම ඔවුන් හොද අධ්‍යාපනයක් ලැබූ අයවීමද අනිවාර්යය විය.

පූර්ණ ජර්මානු කාන්තාවන්ට මෙම ආර්ය පෙලපතේ SS භටයන් හා එක්ව කොපමණ ජර්මානු දරුවන් සංඛ්‍යාවක් බිහිකිරීමට කිසිදු බාදාවක් නොවූ අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහයද නොමදව දැක්වීය. කැමති නම් එම දරුවන් තමන්ටම පෝශනයක කල හැකිවූ අතර එසේ නැතහොත් ඔවුන් හදාවඩා ගැනීමට කැමති ජර්මානු පවුලකට හෝ මෙවන් දරුවන් ඇතිදැඩි කරන මධ්‍යස්ථාන හරහා අනාගත ජර්මානු අධිරාජ්‍යයට ගැලපෙන සේ ඇතිදැඩි කිරීමේ පූර්ණ වගකීම නාසි රජය දැරූහ. කුඩා කල සිටම මෙම දරුවන්ට අන්‍ය ජාතීන් පහත් කොට සැලකීමේ හා ආර්ය ජර්මානු ජාතිය උසස් කොට සැලකීමේ නාසි යන්ත්‍රණයට අනුකූල වන සේ උස්මහත් වීමට අවශ්‍ය මානසික වටපිටාව සහ මොල ශෝදනයද සිදුකළේය.

යුදෙව්වන්, අහිකුණ්ඨිකයන්, සමාජවාදීන්, කොමියුනිස්ට්කාරයන්, සහ වෙනත් ජාතීන් වලට අයත් නාසි සතුරන් සේ සැලකූ ජනතාව ඉවක්බවක් නැතිව ඝාතනය කර දැමුවත් ජර්මානු ශුද්වූ රුධිරය ඇති ජනතාව සම්පතක් සේ හිට්ලර් ඇතුළු ජර්මානුවන් සැලකූහ. හැකි තරම් ජර්මන් දරුවන් සැදීමට දිරිදීම කරන අතරම එය අවජාතක සේ සිදුවුනද ගැටළුවක් නොවීය. කොටින්ම හිම්ලර්ට පවා අවජාතක දරුවන් දෙදෙනෙකු සිටි බවට තොරුතුරු මතුවේ. එහෙත් තෙවන අධිරාජ්‍යයේ අසහාය නායක හිට්ලර්ට එකම දරුවෙකු ජාතක හෝ අවජාතක ලෙස හෝ ඔහු මියගියා යයි පැවසෙන 1945 දක්වා සිටි බවට නිල සාක්‍ෂියක් නොමැත.

තමන්ගේ මහන්සියෙන් දරුවන් තනනවාට අමතරව ඔවුන් විසින් සලකන ලද ජර්මානු දේහ ලක්‍ෂනවලට ගැලපෙන දරුවන් පැහැරගෙන “Germanize” කිරීමේ වැඩපිළිවලක්ද හිම්ලර්ගේ පාලනයෙන් සිදුකරගෙන ගියේය. මෙම වැඩසටහන 1935 සිට 1945 දක්වා සිදුකරගෙන ගොස් ඇති අතර එය The “Lebensborn
Program ලෙස නැතහොත් තේරෙන විදියට කියතොත් “wellspring of life” or “fountain or life”ලෙස හැදින්වූහ. මේ වැඩසටහනට සම්බන්ධ වූවන් බාහිර ලෝකයට පැවසූවේ මෙම දරුවන් දෙමව්පියන් විසින් අතහැර දැමූවන් ලෙස වූවත් සත්‍ය ලෙසම සිදුවූයේ දෙමව්පියන්ගේ සුරතේ රැදී සිටියදීම පැහැර ගැනීමයි. මෙසේ රැගෙන ආ දරුවන් අතරින් නාසි අධ්‍යාපනය ලැබීමට අකමැතිවූ හා නාසින්ව ප්‍රතික්‍ෂේපකල දරුවන් Concentration camp වෙත යවා මෙලොවින් ඉවත් කිරීමටද හිම්ලර්ගේ SS හමුදාව "කාරුණික" වූහ. නාසින්ට අනුකූලතාවය දැක්වූ දරුවන්ට ජර්මන් දෙමව්පියන්ගේ සෙවනේ ඇති දැඩි වීමේ වරම් හිමිවිය.

Lidice වැනි කුඩා ගම්මාන වල පිරිමි ජනගහනය සමූලඝාතනය කිරීම වැනි වැඩවලදීද ජර්මානු ස්වරූපය ගත් දරුවන් පූර්ණ ජරමානුවන් කිරීමේ කාර්යයට යොමුකල අතර අනෙක් දරුවන් මරාදෑමීමට ප්‍රාග් නග‍රයේ ආණ්ඩුකාරයා වූ Reinhard Heydrich වගබලා ගත්තේය.

කෙසේවෙතත් ජර්මානු ආධිපත්‍ය පැතිර තිබූ රටවලින් මෙම වැඩසටහන් ක්‍රියාත්මකවූ කාලසීමාව තුල දරුවන් 250,000 ක් පමණ පැහැරගෙන ජර්මනියට රැගෙන ආ බව පැවසේ.

දෙවන ලෝක යුද්දය නිමවී මිත්‍ර හමුදාව අතට ජර්මානු බල ප්‍රදේශ අත්වන විට වයස මාස 6 සිට අවුරුදු 6 දක්වා වූ දරුවන් සිය ගණනක්, ජර්මානුකරණයට ලක්කරන දාරක මධ්‍යස්ථානවලින් හමුවූ බව පැවසේ. එසේම තවත් දරුවන් පිරිසක් ජර්මනු දෙමව්පිය රැකවරනේ විසූහ. මෙම ඇතැම් දරුවන් තමන්ගේ සැබෑ දෙමව්පියන් වෙත යාමට කැමතිවූහ. ඇතමෙක් සැබෑ දෙමව්පියන් වෙත යෑමට අකමැතිවූ අතර සමහරකගේ ජරමන් දෙමව්පියන් තම දරුවන් නැවත දීමට අකමැතිවූහ. තවත් දරුවන් රැසකගේ මව්පියන් කුරිරු යුද්දයේ ගොදුරු බවට පත්ව අවසන් ගමන් ගොස් හමාරය.

හිට්ලර් මෙම සියළු කාර්යයන්ගේ නායකත්වය දැරුවත් පෞද්ගලිකව ඔහු විසින් යමෙකුට වෙඩි තබා හෝ මරණයට පත්කල බවට තොරතුරු සොයා ගැනීම උගහටය. එහෙත් ඔහු මෙම කාර්යයන් පවරා තිබූ හයින්ඩ්රිච් හිම්ලර් විසින් ප්‍රාණඝාතයන් රැසකට පෞද්ගලිකවම දායකවූ හා යුද්දය අවසානයේ කෝටි සංඛ්‍යාත ජනකායකට වදකාගාර තුල හෝ ඉන්පිටත ජීවිත අහිමිකල Holocaust  සිද්ධි දාමයේ ප්‍රධාන චූදිතයා විය. මෙවන් කුරිරු මනසක් තිබූ හිම්ලර් එක් අතකින් අමුතුම මිනිසෙකි ඔහු උපතින් කතෝලිකයෙකුවූවත් පසුව නාසි මූලධර්මවාදියෙකුබවට පත්වූ අතර පෙරදිග දර්ශනයන් හා ආගම් පිලිබදවද අවධානය යොමුකල හා ඒ පිළිබදව විශ්වාසය කල අයෙකුවිය. යුද්දය පවතින කාලය පුරාවටම හින්දු ශුද්ධ වූ ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ කුඩා පිටපතක් ඔහු‍ගේ සාක්කුවේ රදවාගෙන සිටි බව ඔහුම ප්‍රකාශය කලේය. ඔහුගේ විශ්වාසය අනුව අතීතයේ ජර්මනියේ රජකම් කල හයින්ඩ්රිච් රජුගේ පුනරුප්පතිය ඔහු විය. හයින්ඩ්රිච් රජු යනු අතීතයේදී ස්ලාව් ආක්‍රමණිකයන්ගෙන් ජර්මනිය මුදවාගත් රජුයි. එසේම නැගෙනහිර යුරෝපය අක්‍රමණය කිරීම යනු තමන්ට එදා සම්පූර්ණ කිරීමට නොහැකිවූ රාජකාරිය ඉටුකිරීමක් විය. එනම් ස්ලාව් ජාතිකයන්ගේ නිජබිම වූ නැගෙනහිර යුරෝපය අත්පත් කරගැනීම තම පීතෘ භූමිය නැවත ලබා ගැනීම විය. (http://david-musser.suite101.com/heinrich-himmler-had-bizarre-occult-beliefs-a176656)

හයින්ඩ්රිච් රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ Wewelsburg බලකොටුව හිම්ලර් නිතරම ගැවසුන ස්ථානයක් විය. ශේෂව පැවතුන රජුගේ භෂ්මාවශේෂ ගෞරවනීයව තැන්පත් කල හිම්ලර් එයට ඔලිව් අතුතබා පැරණි ආකාරයටම ගරුබුහුමන් දැක්වීය. හිම්ලර් ඇතුළු SS ප්‍රධානීන්ගේ රැස්වෙන ප්‍රධානම ස්ථානයක් බවට මෙම බලකොටුව පත්විය. හිම්ලර්ට හා ඔහුගේ SS ප්‍රධානීන්ට අනුව SS භටයන් යනු පැරණි ජර්මානු ටියුටොනික් නයිට්වරුන්විය. ටියු‍ටොනික් නයිට්වරුන් යනු මධ්‍යතන යුගයේදී ශුද්ධවූ කුරුස යුද්දවලදී කතෝලික දහම වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කල ජර්මානු නයිට්වරුන්විය. (http://www.crystalinks.com/teutonicknights.html)


පැරණි ටියුටොනික් නයිට්වරුන්

මෙම බලකොටුවට අමතරව තවත් පැරණි රජවරුන්ගේ බලකොටු රැසක් SS හමුදාවේ පුහුණු පාසල් බවට හෝ හමුදා මධ්‍යස්ථාන හෝ නාසි පූජනීය ස්ථාන බවට පත්කෙරුනි. Wewelsburg බලකොටුව, 1934 දී හිම්ලර්ගේ පෞද්ගලික නිවහන බවට පත්කර ගත් අතර එහි සේවයට වහල් සිරකරුවන් 4000 ක් පමණ යොදවා ගැනූ ලැබීය. මෙම බලකොටුවේ සේවය කරමින් සිටි සිරකරුවන් තුන්කාලකටත් වඩා අත්වුයේ මරණයයි. මෙම බලකොටුව ආශ්‍රිතව Concentration camp ඉදිකෙරුනේ මෙම බලකොටුවේ වැඩ සදහා වහල් සිරකරුවන් ලබාගැනීමේ පහසුව පිණිසයි.  මෙම බලකොටුවද හිම්ලර්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිසංස්කරණය කොට නවතම කොටස්ද පැරණි ආකාරයෙන් එක්කරනු ලැබීය. ත්‍රිකෝණාකාර හැඩයක් ගත් මෙම බලකොටුවේ මුළු ත්‍රිත්වයේ දැවැන්ත කුළුණු තුනක් විය. උතුරුදෙසින් වූ දැවැන්ත කුළුන මෙයින් කැපීපෙනෙන අංගයක් විය. ඒ මෙම කුළුණ කේන්‍ද්‍රගතකර SS Occult Center නැතහොත් හිම්ලර් ව්ශ්වාස කල මධ්‍යතන යුගයේ ගුප්ත විශ්වාසයන්ට වැදුම් පිදුම් කරන ස්ථානය විය. මෙම කුළුනේ පාදමේ හිම්ලර් බිංගෙයක් ඒ සදහා තැනූහ.
http://www.scrapbookpages.com/WewelsburgCastle/Castle2.html


උතුරු කුළුනේ ඉදිරිපස

කුළුනට පිවිසෙන දොරටුව

ඉතිහාසඥයන්ට අනුව මෙම බිංගෙය මියගිය SS නායකයන් සිහිපත් කරන තැනක් ලෙසද භාවිතා කර ඇත. ඒ සදහා ඔවුන්ගේ අළු තැන්පත්කල හැකි ස්ථාන 12 ක්ද මෙම බිංගෙය වටේ තබා තිබුනි. මෙම 12 අගය එන්නට ඇත්තේ පැරණි පුරාවෘත්තයක එන ආතර් රජු‍ගේ වටමේසයේ අසුන්ගන්නා ප්‍රධාන නයිට්වරුන් 12 දෙනා ගැනද උපකල්පිත මතයකින් විය යුතුයයි ඉතිහාසඥයන් පවසයි. මේ බව J.H.Brennan විසින් රචිත
"Occult Reich" පොතේද සදහන් වේ.


මෙම පැරණි පුරාවෘතයන්ට ඇළුම් කල හිම්ලර්, තමන්ගේ ඉහලම SS නිළධාරින් 12 දෙනා හමුවුනේද මෙම ස්ථානයට ඉහලින් තැනූ ශාලාවකදී බව පැවසේ. සූර්යයා නිරූපණය කරන විශාල ලාංඡනයක් මෙහි පොළවේ සටහන් කර තිබුනි. මෙහි දැක්වෙන කිරණ යොදා ගෙන තිබුනේ පෞරානික නෝර්ඩික් අක්‍ෂර මාලාවකිනි.

SS භටයන්ගේ සලකුන වන S අක්‍ෂර දෙකද මෙම කිරණ ආකාරයේ S අක්‍ෂර දෙකක් විය. මෙම අක්‍ෂර වලින් සූර්යයා හා ශක්තිය පාලනය නිරූපනය වන බව පැරණි විශ්වාසයන්ට අනුව පැවසෙන අතර තවත් පැරණි අක්‍ෂර කිහිපයක්ම හිම්ලර් සහ ඔහුගේ ගුප්තවාදීන් විසින් භාවිතා කරනු ලැබීය.

 මෙවන් අක්‍ෂර අතීතියේදී අනාගතය ගැන කීමට, මැජික් මායා වැඩ කිරීමට හා තවත් ගුප්ත දේ කිරීමට යොදාගත් බව ඉතිහාසහඥයන් පවසයි. මෙවන් සලකුණු එකල ජර්මනියේ විවිද ස්ථාන වල විවිද කාර්යයන් වෙනුවෙන් නිරූපනය කිරීමට බහුලව යොදා ගෙන තිබුනි.

මෙම SS සලකුණ, SS භටයන්ගේ  නිල ඇදුමේ උරබාහුවේ සහ හිස්වැසුම් වල භාවිතා කලහ. Hitler Youth හමුදාවේ සිටි කුඩා ළමයින් සදහා මෙම S සලකුණු එකක් පමණක් භාවිතා කලේය.


පුහුණුව ලැබූ SS භටයන්ගේ නිළධාරී පට්ටම් ඇති අයට SS කිනිස්සක්ද ලැබුනි. එහි මිටේ SS සලකුණ හා නාසි සලකුණු සටහන් කර තිබූ අතර තලයේ විශ්වාසනීයත්වය ගෞරවනීය බව හැගවෙන පාඨයක් කොටා තිබුනි.


මෙම කිනිස්ස හිම්ලර් විසින් විසිරයෑමේදී ප්‍රධානය කෙරුනි. එසේම SS භටයන්ට විශේෂිතවූ මුද්දක්ද ඇගිල්ලේ රදවා ගැනීමට දෙනු ලැබීය.
කතෝලික ආග‍මේ බොහෝ අංග නාසින් විසින් හදුන්වා දුන් නව ආගම් දර්ශනයේදීද භාවිතා කලේය. එයින් පෙනීයන්නේ ඔවුන් අළුත් දහමක් හදුන්වා දුන් බව පැවසුනා හා එහි ගැලවුම්කරුවා හිට්ලර් බවට වහසිබස් දෙඩුවත් උපතින් ලැබුන කතෝලික දහමෙන් ඔවුන්ට පූර්ණ වශයෙන් ගැලවීමට නොහැකිවූ බවයි. කුඩා දරුවන් බෟතීස්ම කිරීමද නාසි ක්‍රමය හා කතෝලික ක්‍රමයේ සම්මිශ්‍රනයකින් සිදුවිය.

එහෙත් කතෝලික ආගම ව්‍යාප්තවීමට පෙර ජර්මනියේ භාවිතා කල විවිද ආගමික ගුප්ත මතයන් කෙරේද ඔවුන් එල්ඹ සිටිහය. SS භටයන්ගේ විවාහයන්හිදීද භාවිතා කිරීමට අමුතුම ආකාරයේ මුද්දක් මනාල යුවලට ලබා‍දෙනු ලැබීය.

නාසින් විවිදාකාරයේ ගුප්ත පූජනීය උත්සව ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ, රෑ හෝ දහවල් පැවැත්වූහ. ඒවා බොහොමයක් පැවැත්වූයේ නූතන කැලැන්ඩරයක් අනුසාරයෙන් නොව පුරාණ ජර්මානු දිනදර්ශනයන් අනුවයි. මේවා අතිශයින්ම උත්කර්ශවත් වූ අතර මිනිස් මනසට ප්‍රභල හැගීමක් දෙන ආකාරයෙන් ඒවා සංවිධානය කර තිබුනි. අදුරේ බලය වැඩියෙන්ම ඔවුන් අතපත ගෑමට කැමතිවිය.





හිට්ලර්, හිම්ලර් සහ නාසින් සම්බන්ධයෙන් මෙවන් සැඟවුන දේ බොහෝමයක් ඇත. ඇතැම්‍ දේවල් පිළිබදව ඔවුන් සමගම කිසිදු සාක්‍ෂියක් නොමැතැව තුරන්ව ගිය අතර සමහර දේවල් වසර කිහිපයක් ඉක්මගිය තැන ලෝකය දැනගත්හ. ඔවුන් අතින් ඇතැම් ප්‍රයෝජනවත් දේවල් ලෝකයට දායාද විය. එහෙත් කාර්මික විපල‍වයේ තාක්‍ෂනික දැනුමෙන් සන්නද්ධව, මධ්‍යකාලීන හෝ ඊටත් එපිට යුගවල පැවති අතාර්කික ගුප්ත විකාර දේවල ඔළුවේ පුරවාගෙන, ලොව කුඩාම මහද්වීපයේ ජනිතවූ ඔවුන් ලෝකය පාලනය කරන්නට ගොස් කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අකාරුණික ලෙස ගොදුරුකර ගත්හ. එය ඔවුන් යම් ප්‍රයෝජනවත් දෙයක් ලෝකයට දායාද කලේ නම්  එහි ගරුත්වයට කිසිසේත්ම ලැබිය නොහැකි දෙයක් බවට පත්කරගත්තේය.

මෙවන් වූ නොදත් කාරණා රැසක් සමග ඊලඟ ලිපියෙන් හමුවන බලාපොරොත්තුවෙන් දැනට නවතිමි...

මේ දක්වා මෙම ලිපි පෙලේ පළකර ඇති ලිපි -
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V

කටහැකරයන්ට ලෝකය පුරාම දේශපාලනයේ තැනක් තිබීම, මුදල් පුළුස්සා උණුසුම ලබාගැනීම, නායකයාට දිවිහිමියෙන් කැපවුන හා සමලිංගිකත්වය නිසා අපකීර්තියට පත් දුඹුරු කමීසකාරයන් සහ දේශපාලනයේ සදාතනික සත්‍යයන් - Before WWII - Part VI


මේ ලිපිත් මෙම ලිපිවලට තරමක් සමාන කමක් දක්වයි -
හිට්ලර් ගැන නොදත් කතා හා පින්තූර - Another secrets about Hitler
දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම්