Thursday, March 29, 2012

පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V

පෙර ලිපියටම මේ ලිපියත් සම්බන්ධවන බැවින් කෙලින්ම අපි අද ලිපියට පිවිසෙමු.මෙන්න මීට කලින් ලියූ ලිපි 4-
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV


ඒ ඒ කාල වකවානුවලදී විවිද මර්ධන ක්‍රියාපිළිවෙත් හරහා යුදෙව්වන් ලෝකයෙන් තුරන් කරන්නට විවිද පාලකයන් උත්සහ දැරූවද ඒ සියළු දුෂ්කරතා විද දරාගෙන තමන් නියෝජනය කල ක්‍ෂෙත්‍රයේ හිනි පෙත්තටම යාමට සමත්වූ යුදෙව්වන් රැසක් පළමු ලෝක යුද්දයට පෙරතුව හා ඉන්පසුවත් ලෝකයේ සිටි බව පැවසිය හැකියි. සුප්‍රකට විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්, මනෝවිද්‍යාවේ පියා‍ ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් විසිවන සියවසේ මුල දේශපාලන ක්‍රියාකාරීනියක වූ රෝසා ලක්සම්බර්ග් වැනි අයසේම තවත් විවිද ක්‍ෂෙත්‍රයන්ගේ කැපී පෙනෙන කාර්යයක් ඉටුකල වෘත්තිකයන් රැසක්ම යුදෙව්වන්.

ජර්මනියේ විවිද කාර්යයන්හිදී පවා විශාල මෙහෙවරක් යුදෙව්වන් විසින් ඉටුකලත්, පළමු ලෝක යුද්දයේ පරාජය බොහෝ ජර්මානුවන්ට දරාගත නොහැකි දෙයක් වූ අතර යුදෙව්වන් හතුරන් ලෙස සැලකීමට ‍අඩිතාලම වැටෙමින් තිබූ අවධියකි ඒ. එයින් හිට්ලර් කැපී පෙනෙනම පුද්ගලයෙක් දැඩි යුදෙව් විරෝදයක් තරුණ අවධියේ සිටම දරාගෙන සිටි ඔහු පළමු ලෝක යුද්දයට යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් දුන් දායකත්වය හිතාමතාම අමතක කල ඔහු  ජර්මනිය යුද්දයෙන් පැරදීමට නම් යුදෙව්වන් දායක වූ බවට ඔහු නිරතුරු ප්‍රකාශ කලා. යුදෙව්වන් රටේ සාරය උරාගන්නා දුෂ්ඨයන් බවට සපථ කරමින් සිටි ඔහු ඒ වන විට ස්ථාපිතව තිබූ කොමියුනිස්ට්වාදීන් හා යුදෙව්වන් යනු එකට අත්වැල්බැදගෙන සිටින්නන් බවටද විවිද අවස්ථාවල ප්‍රචාරය කරනු ලැබුවා. 1930 වන විට යුරෝපය පුරා යුදෙව්වන් මිලියන 10 ක් පමණ විසිරී සිටි අතර හිට්ලර්ට මෙම යුදෙව්වන් ඉමහත් හිසරදයක්ව පැවතුනා.

ආර්ය ජර්මානු වර්ගයක් පිළිබදව නිරතුරුවම ප්‍රකාශ සිදුකල හිට්ලර් ඒ පිළිබදව කුඩා අවධියේ සිටම පාසල් දරුවන් පවා දැනුවත් කල යුතු බව පැවසූ අතර යුදෙව්වන් පිළිකුලෙන් යුතුව හෙලා දැකීමට මොල ශෝදනයකටද ලක්කලේය. 

යුදෙව්වන්, කොමියුනිස්ට් ක්‍රියාකාරිකයින්, සමාජවාදීන්, අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් හා හිට්ලර් විසින් පිළිකුල් කල ජර්මානු නොවන විවිද ජාතින්ට අභාග්‍ය සම්පන්න පෙරනිමිති උදාකරමින් හිට්ලර් 1933 දී ජර්මනියේ චාන්ස්ලර් ධූරයට පත්වූ අතර 1934 දී ඔහු ජනාධිපති ධූරයටද පත්වීමෙන් පසු මෙම තනතුරු ද්විත්යම දරන සුපිරි නායකයෙකු බවට පත්විය. 1933 දී බලයට පත්වීමත් සමග ඔහුගේ ආණ්ඩුව පළමු සමූහ සිරකදවුර ලෙස Dachau සමූහ සිරකදවුර ජර්මනියේ ස්ථාපිත කරන අතර ප්‍රථමයෙන් මෙහි දේශපාලන සිරකරුවන් රැදවීම ඔවුන්ගේ අභිප්‍රාය විය. 

1920 දශකයදී ජර්මනියේ කළු ජාතිකයන් 250,000 පමණ වාසය කල අතර නාසින් ඔවුන්කෙරේද දැක්වූයේ දැඩි ආකල්පයකි. ඔවුන්ද ආර්ය ජර්මන් ජාතිය කිළුටු කරන්නන් සේ සැලකූ අතර උපමානව වර්ගයක් ලෙස සලකා ඔවුන් හා සබදතා පැවැත්වීම අධෛර්යමත් කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් පවා අරඹා සිටියේය.

තවද අරාබින්, ආසියාතිකයන්ද ජර්මානු ජාතියේ හතුරන් ලෙස සැලකූ අතර ඒ සෑම සතුරෙකුටම වඩා යුදෙව්වන් නරකම බව සෑම අවස්ථාවකම ඒත්තු ගැන්වීටම උත්සහ දැරූහ.

යුදෙව්වන් හා ජර්මානුජාතියට පිළිලයක් ලෙස අහිකුන්ථිකයන් හෙවත් රොමානියන්වරුන් කෙරේ දැඩි වෛරයක් තිබූ හිට්ලර් ප්‍රමුඛ නාසින් අහිකුන්ථිකයන් හා යුදෙව්වන් අතර සමානකම් ඇති බවට කිසිදු විද්‍යාත්මකබවක් නොගත් මිණුම් දඩු හරහා සනාථ කිරීමට උත්සහ දැරුවා පමණක් නොව තම වාර්ගික ශුද්ධකරණයට පහසුවන ආකාරයේ සිද්ධාන්තයන් පවා ගොඩනැගීය. දෙවන ලෝක යුද්දය ආසන්න කාලය වන විට ජර්මනියේ අහිකුන්ථිකයන් 30,000 ක් පමණ සිටි අතර නැගෙනහිර යුරෝපයේ රුමේනියාව හා සෝවියට්දේශය ප්‍රධාන කොටගෙන මෙම ප්‍රජාවේ මිනිසුන් 1,000,000 පමණ ජීවත් වූහ. හිට්ලර්ගේ මනෝවිකාර අනුගමනය කල ජර්මන් විද්‍යාඥයෝ මෙම මිනිසුන්ගේ විවිද අවයව කිරා මැනබැළුහ. ඒ අතරින් හිස්කබල ප්‍රධාන වූ අතර යුදෙව් හිස්කබලට සමාන බවට නාසින් නිගමනය කලහ. 
යුදෙව්වන් සේම වටිනාකමක් රහිත ජීවිත ඇති උපමානවයන් සේ අහිකුන්ථිකයන්ටද විවිද අඩම්තේට්ටම් සිදුකරන ලදි.

එ‍සේම හිට්ලර්ගේ සිහින අධිරාජ්‍යයේ ප්‍රධානම ජනවර්ගය වූ ආර්යන්ගේ මූලාරම්භය ඉන්දියාවේ හිමාල පෙදෙසින් ඇතිවූ බවට වූ විශ්වාසය තහවුරු කරගැනීමට මෙවන් විද්‍යාඥයන් හිමාලයේ ටිබෙට් නේපාල වැනි රටවලටද පිටත්කර ඔවුන්ගේ මුහුණු හා හිස්කබල මැනීම හා මුහුණුමත විශේෂිත බදාම තවරා Life Mask තැනීම හා ඒවා ජර්මනියේ පර්යේෂනාගාරවල දී ජර්මන් හිස්කබල හා මෙම හිමාල වැසියන්ගේ හිස්කබල් අතර සන්සන්දනාත්මක පර්යේෂනද සිදුකරන ලදි. 


ටිබෙටයට ගිය ජර්මන් මානව පර්යේෂන කණ්ඩායම

Beger busy taking cranial measurements

(During the trip to Tibet’s highlands, Beger began making facial casts of local people, including his personal servant, a Nepalese Sherpa named Passang. During the first casting, paste got into one of Passang’s nostrils and he panicked, tearing at the mask. Schäfer threatened the employment of the porters who had seen the incident, if they told anyone. However, most of the Tibetans had a much more friendly and light-hearted attitude, and a solid amount of photographic and film footage remains of smiling and laughing Tibetans undergoing facial and skull feature measurements.)
මිනිසුන්‍ පිළිබදව පමණක් නොව ටිබෙටයේ පරිසරය, දේශගුණය, සතුන්, සංස්කෘතිය යනාදී විවිද කරුණු රාශියක් පිළිබදව හිට්ලර්ගේ නියෝග මත හිම්ලර් විසින් යැවුන පර්යේෂකයන් හා SS නිළධාරින් විසින් 1938 මැයි සිට 1939 අගෝස්තු දක්වා එක්රැස් කරනු ලැබූ අතර ඔවුන් අවසානයේ ජර්මනියට රැගෙන ගිය දේවල් වල සංක්‍ෂිප්තය මෙසේවිය. කළු සුදු සේයාරූ 20,000ක්, වර්ණ සේයාරූ 2,000 ක්, මුහුණු 17 ක Life Masks සහ පුද්ගලයන් 376 දෙනෙකුගේ කපාල මිමි, ටිබෙටයේ වසන බල්ලන් තිදෙනෙකු, දුර්ලභ බිලාලයන් විශේෂයක්, වෘක්කයන්, badgers සත්වයන්, නරින්, ක්‍ෂිරපායන්ගේ හා පක්‍ෂින්ගේ සම්, ධාන්‍ය හා බෝග කිහිපයක බීජ, ටිබෙටයේ පෞරානික ග්‍රන්ථ කිහිපයකම සම්පූර්ණ පිටපත් යනාදියයි.

ආර්ය ජාතිය ශක්තිමත්, පෞඩ ජාතියක් හා නිරෝගී ජාතියක්ම වන බවට උදම් ඇනූ හිට්ලර් ප්‍රමුඛ මේ මිනීමරු පාලකයන් ශරීරාබාද සහිත මිනිසුන් දෙවියන් විසින් පවා ප්‍රතික්‍ෂේප කරන බවට ප්‍රචාරණයක් ගෙන ගියෝය. එවැනි ශරීරාබාද ඇති අය තවදු‍රටත් ළමයින් බිහිකිරීම වලකාලනු වස් වන්ධ්‍යාකරන සැත්කම්පවා ඔවුන්ට සිදුකරනු ලැබීය. 1934 දී පමණක් මෙවැනි සැත්කම් 300,000 ත් පමණ සිදුකල අතර පරම්පරාවේ පැටිකිරිය දැක්වෙන කාඩ්පත් සකස්කර පරම්පරාවේ කවරෙකුට හෝ ශාරීරික ආබාද ඇත්දැයි පරීක්‍ෂා කරන ලදි. යුදෙව් නොවන හා ජර්මානු කාන්තාවන්ට හැකිතරම් දරුවන් හැදීම දිරිමත් කල නාසින් ඔවුන් ආර්ය සොල්දාදුවන්, ශ්‍රමිකයන් බිහිවීමට ප්‍රභල සාධකයක් බවට ඒත්තු ගැන්වූහ. 

තවද මානසික රෝගින් පවා ආර්ය ජාතියේ පැවැත්මට බාධාවක් ලෙස සැලකූ අතර රෝහල් ගතව සිටි මෙවන් රෝගීන් මරා දැමීමේ ව්‍යාපෘතියක්ද යුද්දයට පෙරාතුවම ආරම්භකලා. මෙම වැඩපිළිවෙල "T-4,"/ "euthanasia" යන නාමයන්ගෙන්  හදුන්වනු ලැබූ අතර විශ වායු හෝ විශ එන්නත් භාවිතයෙන් ඝාතනය කල අතර ශාරීරික දුබලතාවයන්ගෙන පෙලෙමින් ප්‍රතිකාර ගනිමින් සිටි රෝගීන් ලක්‍ෂ ගණනකටද සදාකාලික සුවය ලබාදෙන්නට මෙම වැඩපිළිවෙලම යොදා ගත්තා.
පෝලන්ත ජාතීන් කෙරේද හිට්ලර් දැක්වූයේ වෛර‍යකි. ඔවුන්ද උපමානව වර්ගයක් ලෙස සැලකූ අතර ඔවුන්ගේ භූමිය අත්පත් කරගත යුතු බවට ඔවුන්ගේ අදහස විය. මේ අනුව මිලියන ගණන් පෝලන්ත ජාතිකයන් මරාදැමුන අතර සමහර පෝලන්ත බිලින්දන්ට "ජර්මානු" හැඩරුව ඇති බවට විශ්වාසයක් නාසින් අතර විය. මේ අනුව 50,000ක් පමණ වූ පෝලන්ත බිලින්දන් පැහැරගෙන ගොස් ජර්මානු දෙමව්පියන්ට ඔවුන්ව ඇති දැඩි කිරීමට ලබා දී එම දරුවන් "ජර්මානුකරණයකට" ලක් කලේය.

හිට්ලර් ඇතුළු නාසින් පිළිකෙව් කල තවත් කරුණක් වූයේ සමලිංගිකත්වයයි. නාසින්ගේ මතය අනුව සමලිංගිකයන් දරුවන් බිහි නොකරන නිසා ආර්ය ජාතිය ඉදිරියට රැගෙන යාමට ඔවුන්ගෙන් ලැබෙන දාකත්වයක් නොවන අතර සමලිංගික පිරිමින් යනු නියම පිරිමි නොවන බවට ඔවුන් ඇදහූහ. තවද සමාජ රෝග ව්‍යාපත්තියටද සමලිංගිකයන් වගකිව යුතු බවට නිගමනය කල අතර සමලිංගික සංගම් හා ඔවුන්ටම වෙන්වූ තැබෑරුම් ආදියද වසා දමනු ලැබීය.

1933 සිටම යුදෙව්වන් මර්ධනය පදනම් කරගත් නීතිරිති එකක්පිට එකක් රැගෙන එන්නට වූ අතර මුලින්ම 1933 දී යුදෙව්වන්ට තවදුරටත් ජර්මනිය තුල නීතිඥවරුන ලෙස, විනිසුරුවන් ලෙස හෝ සිවිල් ‍සේවාවන්වල යෙදීම තහනම් කලේය. යුදෙව් දරුවන්ට, අන්‍ය ජාතික දරුවන් හා සෙල්ලම් කිරීමද තහනම් කෙරුනි.

1933 දී සිදුවූ කැපීපෙනෙනම තවත් සිදුවීමක් නම් ජර්මානු භාෂාව හා සංස්කෘතියේ පාරිශුද්ධභාවය රැකගැනීමවස් ජර්මානු නොවන පොතපත පුළුස්සා දැමීමයි. මෙය 1933 මැයි 10 වනදා රාත්‍රියේ සිදුකරනු ලැබූ අතර වටිනා හා ‍ඓතිහාසිකමය වශයෙන් වැදගත් ලේඛණ ‍රැසක් ලෝකයට අහිමිවීමද මෙදින සිදුවුනි.


1935 දී යුදෙව් ලේඛකයන්ට, සංගිතඥයන්ට හා කලාකරුවන්ට නිර්මාණ බිහි කිරීම තහනම් කරනු ලැබූ අතර ප්‍රසිද්ධ ස්ථාන වල යුදෙව්වන්ට අසුන්ගත හැකිවූයේ "යුදෙව්වන්ට පමණයි" යනුවෙන් සලකුණු කල ස්ථානවල පමණක් විය.

තවද 1935 සැප්තැම්බර් 15 වන දිනදී ස්ථාපිත කල සුවිශේෂම නීතිය නියුරම්බර්ග් නීති මාලාවයි. සුපිරිසිදු ජර්මානු ආර්ය රුධිරය, ආර්ය නොවන මිනිසුන්ගෙන් ‍කිළිටි වීම වලකා ලීමටත් යුදෙව්වන‍්ට ගැලවී යාමට මගක් ලෙස ආර්ය ප්‍රජාව හා සහසම්බන්ධතා ඇතිවීමෙන් වලකා ලීමත් අරමුණු කොට නිකුත්කල මෙම නීති සරලව මෙසේය.
1 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර විවාහයන් තහනම් වූ අතර එම වැරැද්ද කරන්නන් පිටුවහල් කිරීමට යටත්වේ.
2 යුදෙව්වන් හා ජර්මානු හෝ ජර්මන් සම්භව්‍ය රුධිරය ඇති ජනතාව අතර ලිංගික සබදතා තහනම් කෙරේ.
3 යුදෙව්වන්ට, වයස අවුරුදු 45 ට අඩු ජර්මන් කාන්තාවන් සේවයට ගැනීම තහනම් කෙරේ.
4 යුදෙව්වන්ට තම දේශය ලෙස ජර්මන් අධිරාජ්‍ය දැක්විය නොහැකි අතරම ජාතික ධජය හා ‍‍ජාතික වර්ණයන්ද භාවිතා කල නොහැක. ඔවුන්ට තම වර්ගයට ආවේණික වර්ණ භාවිතා කල හැක.(යුදෙව්වන්ට තමන් යුදෙව්වෙකු බව හැඟවෙන සලකුණු වර්ණයන් පැලදීම අනිවාර්ය කොට තිබුනි ඩේවිඩ්ගේ තරුව ඒ අතරින් ප්‍රධාන වේ).
5 මෙම නීති කඩකරන අය බරපතල වැඩ සහිතව සිරගත කොට දඩුවම් කරනු ලැබේ.

සාමාන්‍යයෙන් පනවන නීති ඊලඟ වසරේ ජනවාරි 01 දා සිට ක්‍රියාත්මක කෙරුනත් මෙම නියුරම්බර්ග් නීති ඊ‍ට පසුදින සිටම ක්‍රියාත්මක කරන ලදි.

1936 දී තවත් නීතියක් ගෙන ආ අතර එයින් යුදෙව්වන් සතුවූ බයිසිකල් හා ටයිප්රයිටර් යනාදිය භාරදිය යුතුවූ අතර යුදෙව්වන් කරන ලද කාර්යයන්ගෙන් ඉවත්විය යුතුවිය. විවිද තාඩනපීඩනයන්ගෙන් බේරීම සදහා කිතුදහම වැලද ගෙන සිටි යුදෙව්වන්ද හදුනාගෙන ඔවුන්ද යුදෙව්වන් ලෙසම නම්කරන ලදි.
(යුදෙව්වන් යනු ජර්මනියට පක්‍ෂපාතී නොවන ජනවර්ගයක් ලෙස එරට පුවත්පත් වල පවා නිරතුරුවම ප්‍රකාශ කල අතර ඔවුන් කිතුනු රුධිරය පවා කිලිටි කිරීමට හවුල් වූ බවට පැවසූහ).



1938 දී යුදෙව් වෛද්‍යවරුන්ට හා වින්නඹුමාතාවන්ට සේවයෙන් ඉවත්වන්නට බල කලෙය. යුදෙව්වන්ට තවදුරටත් ව්‍යාපාර කටයුතු සිදුකල නොහැකිවිය. චිත්‍රපටියක් නැරඹීමට සිනමා ශාලාවකට යෑම, නාට්‍යයන් නැරඹීමට රඟහලකට යෑම, ඔපෙරාවක් වෙනයම් විනෝදජනක කටයුත්තක් නැරඹීමට සම්බන්ධවීම හෝ පිහිණුම් තටාක භාවිතයද යුදෙව්වන්ට තහනම් කරනු ලැබිය. තවද යුදෙව් දරුවන් ජර්මානු පාසල් වලින් අස්කර දමනු ලැබීය.

1938 වසරේ නොවැම්බර් 9 වනදා ජර්මනිය, ඔස්ට්‍රියාව හා ජර්මනිය අත්පත්කරගෙන සිටි Sudetenland හි වාසය කල යුදෙව්වටන්ට අමිහිරිම දිනයක් විය. එදින හිට්ලර්ගේ ප්‍රචාරක ඇමති වූ Joseph Goebbels ගේ මෙහෙයවීම යටතේ වීදුරු බිදුන රාත්‍රිය (Night of Broken Glass) හෙවත් Kristallnachtලෙස හැදින්වූ රාත්‍රියේදී යුදෙව් දේපලවලට ප්‍රහාර එල්ල කිරීම ජර්මානු හමුදාවේ උපඒකක වලින් සහ ජර්මානු සිවිල් වැසියන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. එහෙත් මෙහි වගකීම දැරිය යුතුවූයේද ආපදාවට ලක්වූ යුදෙව්වන්මය. ඔවුන්ට මෙම ප්‍රහාරවලදි අනෙක් දේපල වලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දිගෙවීමට සිදුවූ අතර යුදෙව්වන්ගේ භෞතික දේපල පමණක් නොව ජීවිතවලටද හානි සිදුවී තිබුනි. යුදෙව්වන් 96 දෙනෙකු මියගොස් සිටි අතර සිය ගණනක් තුවාල ලබා සිටියේය. තවද ඔවුන්ගේ සම්මුති ශාලා 1000 ක් පමණ සහ යුදෙව් ව්‍යාපාර 7500 ක් පමණ විනාශ කොට තිබුනි. අවසානයේ වරදකරුවූයේද ඔවුන්ම වූ අතර 30,000 ක් පමණ දෙනා සමූහ සිරකදවුරු වෙත යැවුන අතර එකරැයින් යුදෙව්වන් 18,000 ක් ජර්මනියෙන් පිටුවහල් කෙරුනි.

1939 දී යුදෙව්වන්ට තමන් සතු සියළු වටිනාකියන දේවල් පොලීසිය වෙත ලබාදීමට බලකෙරුනි. තවද කිසිදු හේතුවක් නැතිව හිටිහැටියේ ‍ඔවුන් ජීවත්වූ නිවාස වලින් එලවා දැමුනි. එයට හේතුවක් නොදැක්වූවා පමණක් නොව කිසිදු පෙර දැනුම්දීමක්ද සිදු නොකලේය. තවද යුදෙව්වන්ට ශීත ඍතුවේදී රාත්‍රී 8 න් පසුව පිටතට යාම තහනම් කල අතර ග්‍රීස්ම ඍතුවේදී රාත්‍රී 9 න් පසුව එම නීතිය ක්‍රියාත්මක කෙරුනි.

යුදෙව්වන්ට කැමතිනම් තමන්ගේ සියළු දේ අත්හැර ජර්මනියෙන් නික්මීමේ හැකියාවද තිබුනි. එහෙත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මිල අධික වූ අතර පිටවීමක් මිස නැවත පැමිණීමට නම් අවසර නොවීය. යුදෙව්වන්ගේ ගමන් බලපත්‍රයේ හා අනිකුත් ලේඛණ වල පැහැදිලිවම හදුනා ගැනීම සදහා "J" අක්‍ෂරය පැහැදිලිව විශාලව සටහන් කර තිබුනි. යුදෙව් පිරිමින්ගේ  නමට “Israel” එක්කර තිබූ අතර කාන්තාවන්ගේ නම “Sarah” යන්න එක්කිරීමෙන් යුදෙව්වන්ට තම අනන්‍යතාවය සැඟවීමට තිබූ අවස්ථාවන් අවහිර කිරීම නාසින්ගේ අරමුණු විය.

තවද මීට පෙර සත් සමුදුරේ සටහන් කල "අල්ලාහු අක්බර්" කෘතියට අනුව ජර්මානුවන්ට කියවීමට අපහසු යුදෙව් නම් වෙනුවට විවිද පරිභව අදහසක් දෙන නාමයන් ඒ අවස්ථාවලදී යුදෙව්වන්ට භාවිතා කිරීමට බල කර ඇත. තම පරම්පරාවේ යටගියාව හා තම පෙලපත් නාමය නිශ්චිතව සොයා ගැනීමට නොහැකිවූ යුදෙව්වන් යුද්දයෙන් පසුවද ජර්මන් සොල්දාදුවන් තමන්ට භාවිතා කිරීමට බල කරන ලද නාමයන් භාවිතා කරන බව පැවසෙන අතර තවමත් සමහර යුදෙව්වන් එවැනි නාමයන් නොදැනුවත්කම නිසා භාවිතා කරන බව පැවසේ.

එහෙත් බොහෝ යුදෙව්වන් තමන්ට රටින් පිටවීමට ලැබුන මහගු අවස්ථාව මඟහැරගන්නා ලදි. ඔවුන් සිතුවේ තමන්ට සිදුකරන මෙම අඩම්තේට්ටම් ඉතා ඉක්මනින් නවතිනු ඇති බවත් ජර්මනිය යනු තමන් උපන් රට බවත්ය. එහෙත් දිනෙන් දින සිදුවූයේ මෙම තත්ත්වය උග්‍රවීම මිස අඩුවීමක් නොවේ. නාසින් ප්‍රසිද්ධියේම අහිංසක යුදෙව් වැසියන් තලාපෙලා අවමානය කිරීමට පසුබට නොවූයේය. මහමගදී යුදෙව්වන් එක්රැස් කර එකිනෙකාට රැවුල් ඇද ගැනීමට හෝ නැටීමට සලස්වා ජර්මානුවන් විනෝදවිය. යුදෙව්වන්ට වීධි අතුගෑමටද බලකෙරුනි. බොහෝ අවස්ථාවල කණගාටුදායක තත්ත්වය වූයේ පෙර යුදෙව්වන් හා ඉතා හොද මිතුරන් හෝ හිතවතුන් වූ  යුදෙව් නොවන ජනතාව ක්‍රමයෙන් තමන් හොදින් දන්නා හදුනන යුදෙව්වන් කෙරේ පවා නපුරුවීමයි. පෙර හොද මිතුරුමිතුරියන් වූ කුඩා දරුවන් පවා පසුව යුදෙව් වෛරයකට තල්ලුවී යෑම සිදුවිය.
“I was so upset! I can’t tell you. I went over to my girlfriend’s, who we sat together in the school
years and the mother opened the door and she said, ‘I heard you were a bloody pig, a Jewish pig. Don’t come here again!’ and threw the door in my face. I stood there like an ox! I couldn’t understand what had happened! My best girlfriend’s mother, she looked after me as if I was her child—from one day to the other she changed.

යුදෙව්වන් පිළිබදව තව බොහෝ දේ කතා කිරීමට තිබෙන අතර මෙම ලිපි පෙල මේ මොහොතේ ලියවෙන්නේ දෙවන ලෝක යුද්දයට පෙරාතුව යන ‍තේමාව යටතේ නිසා යුද්දය ආරම්භ වූ පසුව සිදුවූ දේවල් එම අවස්ථාවේදී නැවතත් කතා කරන බලාපොරොත්තුවෙන් මෙම ලිපිය දැන් අවසන් කරමි.


Tuesday, March 27, 2012

යුදෙව්වන්ගේ ඉතිහාසයෙන් කොටසක් - Jews - Before WWII - Part IV

දෙවන ලෝක යුද්දය ගැන කියවෙන සෑම අවස්ථාවකදීම පාහේ කියවෙන පොදු නාමයන් දෙකක් වේ නම් ඒ එකක් හිට්ලර් ගැන විය යුතු අතර අනෙක යුදෙව්වන් ගැන විය යුතුය. මේ නම් දෙකම ඒ තරමටම ගහට පොත්ත මෙන් මෙම යුද්දය හා සබැදී පවතී. කෙසේවෙතත් යුදෙව්වන් ගැන කරුණු කාරණා කිහිපයක් අපි ඊශ්‍රායලය ගැන ලියවුන ලිපියෙදිත් කතා කරන්නට යෙදුනත් මෙහිදී ඊටත් වඩා පුළුල් මානයකින් යුදෙව්වන් හා දෙවන ලෝක යුද්දයේදී පීඩාවට පත්වූ අනෙක් ජන කොටස් පිළිබදවත් කතා කලයුතුයයි අපේක්‍ෂා කරනු ලබනවා.

දෙවන ලෝක යුද්දයේදී අතිශයින්ම පීඩාවට පත්වූ මානවයන් සමූහයක් වූ යුදෙව්වන්ට දෙවන ලෝක යුද්දයෙන් ඉක්බිතිව ඔවුන්ගේ සිහිනයක්ව පැවති "පොරොන්දු දේශය" (Promise land) හෙවත් ඊශ්‍රායලය බිහිවන තුරාවටම ඉතිහාසය පුරාම ලැබී ඇත්තේද අතිශයින්ම කටුක අත්දැකීම්ය. වසර 2000 කටත් වඩා ඔබ්බට දිවයන යුදෙව්වන්ගේ ඉතිහාසයේ ඔවුන් යුරෝපයේ තැනින් තැන කුඩා ජනසමූහ වශයෙන් ජීවත්ව ඇති අතර 18 වන සියවසෙන් පසුව යුරෝපා සමාජයේ යුදෙව්වන්ගේ භූමිකාව පුළුල් වපසරියකට යොමුවී ඇත.

යුදෙව්වන්ගේ මූලාරම්භය සිදුවී ඇත්තේ අදටත් යුදෙව් - මුස්ලිම් ගැටුම් ගිණියම්ව පවතින මැදපෙරදිග කලාපයේදීයි. යුදෙව් විශ්වාසයන්ට අනුව වසර 3000 කට පෙරාතුව ඔවුන් මිසරයන්ගේ වහලුන් ලෙස සේවය කර ඇති අතර දෙවියන් විසින් ඔවුන් වහල්භාවයෙන් මුදවා ඇත. මේ බව සංකේතවත් කරමින් ඔවුන් යුදෙව් පාස්කු මංගල්‍යය හෙයත් Passover Ceremony නම් උත්සවයක්ද පවත්වනු ලබයි.

ඔවුන් තුල එදා ඉදලම තමන්ගේ කියා රටක් දෙවියන් විසින් ලබාදෙයි කියන විශ්වාසයත් තිබුනා. ඒ දේශය තමයි ඔවුන් ඊශ්‍රායලය කියල හැදින්වූයේ. ඔවුන් තමන්ගේ අගනුවර ලෙස සැලකුවේ ජෙරුසලමයි. එහි ඔවුන් ඇදහූ ජුදා ආගමේ (Judasim) දේවස්ථානත් ඉදිකර ඒවාට භක්තියෙන් යුක්තව වැදුම් පිදුම් කිරීමත්  සිදුවුවා. කෙසේවෙතත් මීට වසර 2500 කට පෙරාතුව බැබලෝනියන්වරු ජෙරුසලම් ආක්‍රමණය කල අවස්ථාවේ ඔවුන් විසින් යුදෙව් පූජනීය ස්ථාන විනාශ කිරීම පමණක්‍ නොවේ දැන උගත්භාවයෙන් හා විවිද ශිල්ප වල නිපුනත්වයෙන්ද යුතුව සිටි යුදෙව්වන් තම රටට රැගෙන යාමත් සිදුකරනු ලැබුවා. නැවතත් ඔවුන් තර්ජනයකට මුහුණ දුන්නේ බැබලෝනියාව පර්සියාවට අත්පත් වූ පසුවයි. එහෙත් පර්සියානු රජෙකු වූ Ahasureus  විසින් Esther නම් යුදෙව් කත විවාහහ කරගැනීමත් සමග ඇගේ ඉල්ලීම මත තම සහෝදර යුදෙව් ජනතාවට සැනසුම් සුසුම් හෙලන්නට හැකිවී තිබෙනවා.

ඉන්පසුව පිටුවහල්ව සිටි යුදෙව්වන් නැවතත් ජෙරුසලමට පැමිණ තමන්ගේ දේවස්ථාන ඉදිකරගෙන සැන‍සිල්ලේ සිටියත් එයට නැවතත් විරාමයක් තබමින් රෝමන්වරුන්ගේ ආක්‍රමණ සිදුවීම ඉන් වසර 500 කට පමණ පසුව එනම් දල වශයෙන් ක්‍රි.ව. 70 දී පමණ සිදුවී තිබෙන අතර යුදෙව්වන්ට විවිද අඩම්තේට්ටම් පමණක් නොවෙයි, ඔවුන්තැනූ දේවස්ථාන විනාශ කිරීමත් ඒවායේ තිබූ වටිනා කියන දේවල් කොල්ලකෑමත් සිදුකර තිබෙනවා.

රෝමන්වරුන්ගේ මර්ධනකාරී වැඩ පිළිවෙල හා පිටුවහල් කිරීම වැනි ක්‍රියාදාමයන් නිසා ඇතැම් යුදෙව්වන් නැවතත් බැබලෝනියාවේ විසූ තමන්ගේ සහෘදයන් වෙත නැවත සංක්‍රමණයක් සිදුවී ඇති අතර ඇතමෙක් උතුරු අප්‍රිකාව හා ස්පාඥය වෙතත්, තවත් අය රෝමයට පිටුවවහල් වූ පසු යුරෝපයේ තැන් තැන්වල අනාථයන් වශයෙන් ජීවිතය ගත කරන්නටත් සිදුවී තිබෙනවා. යුරෝපයේ වාසයට ගිය බොහෝ යුදෙව්වන් තමන්ගේ ජනාවාස පිහිටුවාගෙන තිබෙන්නේ ගංඟා ආශ්‍රිතවයි. ජර්මනියේ රයින් සහ ප්‍රංශයේ රොන් නදිය අසබඩව තම ජනාවාස පිහිටුවාගත් ඔවුන් තම යුදෙව් අනන්‍යතාවය රැකගන්නට සමත්වෙලා තිබෙනවා.

යුරෝපයේ බොහෝ රාජ්‍යයන්ගේ පාලකයන්ගෙන් යුදෙව්වන්ට පිළිසරන ඇතැම් අවස්ථාවල ලැබි තිබෙනවා. එයින් එක් අවස්ථාවක් තමයි 1264 දී පමණ පෝලන්තයේ පාලකයා වූ Boleslav කියන රජතුමා යුදෙව්වන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමත් තමන්ට අයත්ව තිබූ දැන් ලිතුවේනියාව, බෙලරුසියාව හා යුක්රේනය කියන ප්‍රදේශවල පාලනයටත් හවුල්වෙන්න යුදෙව්වන්ට ආරාධනා කර තිබෙනවා. මේ සුහද ආරාධනාව පිළිගෙන ඒ ප්‍රදේශවල වාසය කල යුදෙව්වන්ට පොලන්තයේ විස්ටුලා නදිය ඉතාමත් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ඒ ප්‍රදේශවල සිට පෝලන්තය වෙත ගමනාගමන කටයුතු කරගැනීම සදහා.

ඒ විතරක් නොවෙයි ඔබත් පුදුමවේවි මුස්ලිම් ජාතිකයන් යුදෙව්වන්ගේ ආරක්‍ෂාව හා පැවැත්ම වෙනුවෙන් පෙනීසිටි බව පැවසුවහොත්. මන්ද, අද මේ දෙපාර්ශවය නයයි, මුගටියයි මෙන් දුටු තැන මරාගත්තත් තුර්කි අධිරාජ්‍ය හෙවත් ඔටෝමන් අධිරාජ්‍යයේ හා ක්‍රි.ව‍. 700 දී පමණ උතුරු අප්‍රිකාවේ සිටි මුස්ලිම්වරු ස්පාඥය ආක්‍රමණය කල පසුව ඔවුන්ගේ ස්වර්ණමය යුගය උදාවූ බව පැවසෙන අතර ජුදා ආගම සිත්සේ ඇදහීමටත් යුදෙව් සංස්කෘතියේ උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් එරට පාලනය කල මුස්ලිම් පාලකයන් ඉඩදී තිබෙනවා. ක්‍රි.ව.900 කියන්නේ ස්පාඥයේ යුදෙව්වන්ට හොදම කාලය උදාවූ කාලසමයයි කියන්න පුළුවන්.

එහෙත් ක්‍රි.ව.622 පමණ සිට ක්‍රමයෙන් බලයෙන් වැඩී ගෙන ආ මුස්ලිම් බලයට හා ඔවුන් විසින් අත්පත්කරගෙන සිටි ‍ජෙරුසලම කතෝලික පල්ලියේ ආශිර්වාදයෙන් මෙහෙයවූ කුරුස යුද වාදීන්ට ක්‍රි.ව.1099 දී අත්පත්වීමත් සමග ජෙරුසලමේ සිටි යුදෙව්වන්ට පමණක් නොවේ එහි සිටි මුස්ලිම් ජාතිකයන් දහස් ගණනාවකටද සිය ජීවිතයෙන් වන්දිගෙවන්නට හේතුවුවා.

මෙම ජෙරුසලම කියන නගරය ගැන යමක් කියනවා නම් එය ලෝකයේ පැරණිම නගරවලින් එකක් ලෙස සැලකෙන අතර එයත් යුදෙව්වන්සේම  ඉතිහාසය පුරාවටම විවිද හැලහැප්පීම්වලට ලක්වූ නගරයක්. එය යුදෙව්වන්ට වැදගත්වන්නේ ඔවුන්ගේ හීබෲ බයිබලය පරිදි පළමු ඊශ්‍රායල රාජධානිය ඩේවිඩ් රජතුමා විසින් ක්‍රි.පූ.1000 දී පමණ ස්ථාපිත කිරීමේදී එම රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසලම භාවිතා කිරීමත් කිතුනු බැතිමතුන්ගේ පැත්තෙන් තම ආගමික ශාස්තෘවරයා වූ ජේසුස් වහන්සේ කුරුස ගත කිරීමත් මෙම නගරයේ සිදුවී තිබීමයි. එසේම ඉස්ලාම් බැතිමතුන්ට වැදගත් වන නගරයක් ලෙස සලකන නිසා එදත් අදත් ආගම් කිහිපයකටම වැදගත් නගරයක් ලෙස ජෙරුසලම  සැලකෙන බව කිවයුතුයි.

ක්‍රි.ව. 1492 දී ස්පාඥයේ සුරක්‍ෂිතව සිටි යුදෙව්වන්ටත් කණකොකා හඩන්නට පටන්ගන්නවා. ඒ එරට තිබූ මුස්ලිම් පාලනය බිදදමා ඔස්ට්‍රියානු කතෝලිකයන් විසින් අත්පත් කරගන්නා අතර එහිසිටි මුස්ලිම් ජාතිකයන් හා යුදෙව්වන් පිටුවහල් කිරීම ආරම්භකරනු ලබයි. ‍එසේම පිටුවහල් කිරීමට අමතරව ඔවුන්ට කිතුදහම වැලදගන්නා සේ බලකරන අතර එය ප්‍රතික්‍ෂේප කරන්නන් මරාදැමීමද සිදුකරයි. මෙම අභාග්‍ය සම්පන්න අවස්ථාවේද යුදෙව්වන්ගේ පිහිටට එන්නේ මුස්ලිම් පාලකයන්මය. එනම් එවකට තුර්කි අධිරාජ්‍යයේ පාලකයා වූ Sultan Beyazit II විසින් යුදෙව්වන්ව උණුසුම් ලෙස පිළිගෙන තම අධිරාජ්‍යයේ යහතින් කල් ගත කිරීමට ඉඩදෙනවා පමණක් නොව තම වෛද්‍යවරුලෙස පත් කරගන්තේද යුදෙව් වෙදැදුරන්මය. තුර්කි අධිරාජ්‍යයට අමතරව ස්පාඥයෙන් පිටුවහල් කල යුදෙව්වන් නෙදර්ලන්තය වෙතද සංක්‍රමණය වූහ.

හිබෲ බසින් ස්පාඥය හැදින්වෙන්නේ Sefarad ලෙසින් වූ අතර ස්පාඥයේ හෝ ඊට යාබදව පිහිටි පෘතුගාලයේ විසූ යුදෙව්වන් Sephardic Jews ලෙස හැදින්වූහ. 250,000 කට අධික Sephardic යුදෙව්වන් සංඛ්‍යාවකට ස්පාඥයෙන් පිටව යාමට සිදුවූ  බව කියන අතර මුදල් හෝ ඔවුන් සතුව තිබූ වෙනයම් වටිනා දේවල් රැගෙන යාමද තහනම් විය. මෙලෙස ස්පාඥයෙන් පිටමංව යාමට පෙරාතුව යුදෙව්-මුස්ලිම් මිත්‍රත්වය කෙතරම් ශක්තිමත්දැයි කිවහොත් ඇතැම් මුස්ලිම් අංග යුදෙව්වන්ද අනුගමනය කරන්නට විය. Synagogues ලෙස හැදින්වූ යුදෙව් සිද්ධස්ථාන සමහරක් මුස්ලිම් පල්ලිවල ආකෘතියෙන්ම තැනීම එයට හොද නිදසුනකි.

11 වන සියවස පමණ වන විට යුදෙව්වන් හොදින් ස්ථාපිත වූ ස්ථානයක් ලෙස චෙක් ජනරජයට අයත් ප්‍රාග් අගනගරයද සැලකිය හැකියි. එහිදීද ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබූ අතර 16 වන සියවස පමණ වන විට මේ තත්ත්වය උඩුයටිකුරුව නරක කලදසාවක් උදාවී තිබූ බවද පැවසේ.
ඒ ඒ කාලවකවානුවලදී යුදෙව් සංක්‍රමණයන් ඇති වූ ආකාරය

Ashkenaz යනු පැරණි හීබෲ බසින් ජර්මනිය හදුන්වන ආකාරයයි. මධ්‍යතන යුගයේදීද එනම් 11 වන සියවසේදී පමණ ජර්මනියෙන් යුදෙව්වන් පිටුවහල් කිරීම සිදුව තිබෙන අතර ඔවුන් ඉන්පසුව ජීවත්ව ඇත්තේ උතුරු, මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ රටවලයි. මෙම යුදෙව්වන් “Ashkenazi” ලෙස හැදින්වෙන අතර ඔවුන් භාවිතා කර ඇති භාෂාව ජර්මන් බසට සමානකමක් තිබූ හා හීබෲ බසින්ම බිදී ආ වචන හා අර්ථයන්ගෙන් යුක්තවූ බසක් ලෙස සැලකෙන අතර Yiddish භාෂාව වේ. කෙසේවෙතත් 11 වන සියවසේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක වූ කතෝලිකයන්, ජුදා ආගම පිටුදැකීමේ ක්‍රියාමාර්ගයන් ඔස්සේ යුදෙව්වන් ජර්මනියෙන් පිටමං කිරීමේ ක්‍රියාවලියට පෙර 4 වන සියවසේදී පමණ යුදෙව්වන් ජර්මනියේ ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස නමක් දිනා ගත් අතර ඔවුන් යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් සමග සබදතා පවත්වාගැනීමද සිදුකරගෙන ගියා. එසේම ජුදා ආගමත් නිදහසේ ඇදහීමට බාධාවක් තිබුනේ නැති බවයි පැවසෙන්නේ.  ඒ එක්කම යුදෙව් නොවන ජනතාව සමගත් බොහොම සහජීවනයෙන් මෙම යුදෙව් ජනතාව වාසය කල බව පැවසෙනවා. 

කොහොමනමුත් ප්‍රචණ්ඩත්වය යුදෙව්වන් කෙරේ ඇතිවෙන විට ඔවුන්ට තමන් කරගෙන ආ ව්‍යාපාර වෘත්තීන් හැරදමා නගරයෙන් නගරයට සංක්‍රමණය වීමට සිදුවූ බව පැවසෙනවා. 15 වන සියවසෙන් පසුව යුදෙව්වන්ගේ වාසභූමි බවට පත්වී තිබෙන්නේ නැගෙනහිර යුරෝපයට අයත් රටවල්.

තවද 11 වන සියවස වන විට එංගලන්තයේද යුදෙව්වන් ජනාවාස ස්ථාපිත කරගෙන තිබෙනවා. එහෙත් 1292 දී එඩ්වර්ඩ් රජු යුදෙව්වන් එංගලන්තයෙන් පිටුවහල් කර ගිබෙන අතර 1881 වන විට නැවතත් නෙදර්ලන්තයේ සිටි Sephardi Jews වරුන් එංගලන්තයට නැවත පැමිණ තිබෙන අතර ජර්මනියෙන් පිටමංව සිටි Ashkenazi යුදෙව්වරුන්ද රුසියාවේ සිට එංගලන්තයට පැමිණ තිබෙනවා. වර්ථමානයේත් යුදෙව් සමාජය එංගලන්තයේ සෑහෙන්නට සැලකිය යුතු භූමිකාවකට සම්බන්ධ බවද පැවසෙනවා.

Shtetl කියන්නේ Yiddish බසින් රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ යුදෙව්වන් වාසය කල කුඩා නගර හෝ ගම්මාන හැදින්වීමට භාවිතා කල වචනයයි. මෙය ඇතැම්විට සාමාන‍්‍යයෙන් කිතුන බැතිමතුන් වාසය කල නගරවලත් යුදෙව්වන් ජනාවාස වී සිටි ප්‍රදේශය හැදින්වීමට භාවිතා කර තිබෙනවා. කොහොමවුනත් වර්තමානය වන විට නම් Shtetl නමින් අර්ථවත් කිරීමට ප්‍රදේශ ලෝකයේ ඉතිරිව නැහැ. එයට හේතුව තමයි නාසින් විසින් දෙවන ලෝක යුද්ද කාලයේදී යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කල කෲර ජන සංහාරයේදී Shtetl කියන ප්‍ර‍දේශත් අතුගෑවී යෑම. මේ Shtetl වල ජීවිතය නම් සුන්දර එකක් නොවූ බව තමයි පැවසෙන්නේ. දරිද්‍රතාවය හා විවිද දුෂ්කරතා මධ්‍යයේ මෙම ප්‍රදේශ වල ඔවුන්ට වාසය කරන්නට සිදුවී තිබෙනවා. ඒත් දුක්කම්කටොළු මධ්‍යයේ වුවත් යුදෙව් ප්‍රජාව මෙම ජීවිතයට ඇළුම් කර තිබෙනවා. එයට හේතුව තමයි එකම යුදෙව් ජනතාවකට එක්ව වාසය කරන්නට හැකිවීම නිසා පවුල් ඒකකයක් තුල උණුසුම් සමීපතාවයක් හා අන්‍යෙන්‍යයන් අතර බැදීමක් හා බලවත් ආගමික ශ්‍රද්ධාවක් එකිනෙකා අතර පැවතීම. ඔවුන් කෙතරම් පීඩා අත්වින්දත් යුදෙව්වන්ගේ කැපීපෙනෙන ආගමික චාරිත්‍රයක්වන Sabbath චාරිත්‍රය ඔවුන් කැපවීමෙන් මෙම Shtetl වලදී සිදුකර තිබෙනවා. 

මෙම Shtetl වල නාභිය ලෙස synagogue හෙවත් සම්මුති ශාලාවන් සැලකිය හැකියි. Yiddish බසින් synagogue හදුන්වා තිබෙන්නේ shul යන නමින්. මෙම ස්ථානයේ තමයි යුදෙව්වන් එක්රැස් වී තිබෙන්නේ. ඊට අමතරව යාඥා කිරීමත්, අධ්‍යාපන කටයුතු සිදුකිරීම, විවාහ උත්සව ආදිය පැවැත්වීමත් මෙම ස්ථානවල සිදුවී තිබෙනවා. මුලිනුත් දැක්වූ පරිදි ඉස්ලාමීය ආභාශය හා කතෝලික අභාශයන්ගෙන් තැනුන අලංකාරවත් සම්මුති ශාලා තිබුනත් සාමාන්‍යයෙන් මෙම ස්ථාන සරල බවෙන් යුතු ස්ථාන ලෙස තමයි සැලකෙන්නේ. දෙවන ලෝක යුද්දයෙන් පසුව නැගෙනහිර යුරෝපයේ තිබූ මෙවැනි අලංකාරවත් සම්මුති ශාලා අත්හැරදැමුනත් වර්ථමානය වන විට ඒවා නැවත යථා තත්ත්වයට පත් කර ඇති බවත් පැවසෙනවා.

රුසියාවේ රැජින ලෙස 1762 සිට 1796 දක්වා රජකම් කල මහා කැතරින් රාජිනියගේ කාලයේදී රුසියාවේ නගරවල වාසය කල යුදෙව්වන්ට එරෙහිව දැඩි විරෝධතාවයක් එල්ල වෙන්නට පටන් ගන්නවා. මේ විරෝදතාවයන් නිසාම ඇය 1791 දී the Pale of Settlement නීතියක් බලාත්මක කරන අතර එයින් රුසියාව පුරා ජීවත්වූ යුදෙව්වන්ට එක් ප්‍රදේශකට පමණක් වාසය සදහා කොටු කිරීම කරනු ලබනවා. මේ යටතේ රටේ සිටි යුදෙව්වන්ගෙන් 10% ක් වැනි අතලොස්සක් හැරුන කොට අනෙක් සියළු දෙනා මෙම තනි ප්‍රදේශයට කොටුකරනවා පමණක් නොවේ ඔවුන්ට වෙනස් ආකාරයෙන් සැලකීමටද අමතක කරන්නේ නැහැ. ඒ අනුව ඉහල අධ්‍යාපනයක් ලැබීම, ඉඩම් බද්දට ගැනීම ආදිය තහනම් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි වරින්වර ඔවුන්ට එෙඑරරහිව ප්‍රචණ්ඩත්වය පවා මුදාහරිනවා.  කොහොමවුනත් යුදෙව්වන් මෙම බාදක මධ්‍යයේ පවා අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා අතර 1910 වන විට මෙම කොටුවූ ප්‍රදේශය තුල යුදෙව්වන් මිලියන 5 ක් පමණ වාසය කල බවද පැවසෙනවා.

(මේ එම කොටුකල ප්‍රදේශයන් තුල යුදෙව්වන් ගෙවූ කටුක දිවියේ නිදසුන්)



මෙතරම් තාඩන පීඩනයට ලක් කලත් පළමු ලෝක යුද්දයේදි රුසියානු හමුදාව වෙනුවෙන් සේවය කරන්න යුදෙව්වන් 650,000 ක් පමණ සහභාගීවී තිබෙනවා. කොහොමවුනත් රුසියානු හමුදාවේ ඉහල නිළධාරීන් නම් මෙම යුදෙව් සෙබළුන්ට කැමැත්තක් තිබිලා නැහැ. ඔවුන් යුදෙව්වන්ව සලකලා තිබෙන්නේ අර්ධ මනුශ්‍යයන් ලෙස හා අපිරිසිදු පිරිසක් ලෙසයි. ඒ එක්කම රුසියාව විසින් අත්පත් කරගත් ප්‍රදේශවල වාසය කල යුදෙව්වන් කෙරෙත් කිසිම දායාවක් දක්වා නැහැ. එයට එක් හේතුවක්ව තිබෙන්නේ නැගෙනහිර යුරෝපයේ වාසය කල යුදෙව්වන් භාවිතා කල Yiddish භාෂාව ජර්මානු උරුවක් ගැනීමත් මෙම යුදෙව්වන් රුසියානුවන්ට නොව ජර්මානුවන්ට පක්‍ෂපාත කමක් දැක්වීමයි. පළමු ලෝක යුද්දයේදී කොපමණ යුදෙව්වන් සංඛ්‍යාවක් මිය ගියාදැයි කිසිම අයෙක් නොදන්නා බව පැවසෙන අතර රුසියානුවන් විසින් යුදෙව්වන් 600,000 ක් පමණ සිරභාරයට ගත් බව පැවසෙන අතර එයින් 200,000 නැවත ආපසු පැමිණ නැහැ.1917 සිදුවූ රුසියානු විප්ලවයත් සමග යුදෙව්වන් පීඩාවට පත්කරමින් ක්‍රියාත්මක වූ the Pale of Settlement යටතේ ස්ථාපනය කර තිබූ Pale ලෙස හැදින්වෙන කොටුකල ප්‍රදේශය අහෝසිවීමද සිදුව තිබෙනවා.

Kiser Wilhelm II
පළමු‍ ලෝක යුද්දයේදී රුසියානුවන් යුදෙව්වන්ට මෙසේ සැලකුවත්, ජර්මානුවන් නම් හොදින් යුදෙව්වන්ට එම යුද්දයේදී සලකා තිබෙනවා. හිට්ලර් විසින් දෙවන ලෝක යුද්දයට පෙර හා ඒ අතරතුර යුදෙව්වන් පළමු ලෝක යුද්දයට කිසිදු සහයක් ජර්මනිය වෙනුවෙන් ලබා නොදුන්බවට බොරු ප්‍රචාර කරත් එවකට ජර්මනියේ පාලකයා වූ Frederick William Victor Albert of Hohenzollern, a.k.a. Kaiser Wilhelm II නම් යුදෙව්වන් කෙරේ ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කල අයෙකු වූ අතර ඔහුගේ හමුදාවේ ලක්‍ෂයක පමණ යුදෙව් සෙබළුන් සිටි බව පැවසෙනවා.

එම යුද්දයේදී 12,000 ක් පමන යුදෙව් සෙබළුන් මිය ගොස් ඇති අතර 35,000 ක පමණ යුදෙව් සෙබළුන් විවිද අවස්ථාවල සම්මානය හා ඉහල නිලතල ලබා ගැනීමට පවා සමත්ව තිබෙනවා. තවද දෙවන ලෝක යුද්දයේදී යුදෙව්වන්ට ජර්මානු සෙබළුන් යනු මාරයා හා සමාන වූවත් පෝලන්තය වැනි නැගෙනහිර යුරෝපයේ රටවලට ජර්මානු සෙබළුන් පැමිනෙද්දී තමන් පීඩාවට පත්කරගෙන සිටි රුසියානුවන් පරදවා තමන් ගලවා ගැනීමේ සතුටට උණුසුම් ආකාරයෙන් පිළිගත් බවටත් සාක්‍ෂි ඕනෑතරම් තිබෙනවා.
ජර්මනිය වෙනුවෙන් සටන්වැදුන යුදෙව් සෙබළුන්
යුද්දය අතරතුරු තම උත්සවයක් සැමරූ අවස්තාවක්

යුද්දයේ දැක්වූ දක්‍ෂතා වෙනුවෙන් ජර්මනියේන් ලද සැලකුම්


මේ අවසන් සේයාරූ දෙකෙන් දැක්වෙන්නේ පළමු ලෝක යුද්දයේදී
පෝලන්තයට ජර්මානු හමුදා පැමිණි වට ඔවුන් උණුසුම් ලෙස පිළිගත් ආකාරයයි

නැවතත් මෙම යුගයෙන් ආපස්සට යනවානම්, මධ්‍යතන යුගය වන විට ඇතැම් යුරෝපයේ පාලකයන් යුදෙව්වන්ට තමන්ගේ රටේ පදිංචිව සිටින්නට අවසර දී තිබෙනවා. එම පාලකයන් වටහා ගෙන තිබෙනවා යුදෙව්වන්ට තිබූ ශිල්පී නිපුනත්වය ආදිය රටේ දියුණුවට යොදා ගන්නට හැකි බව. සාමන්‍ය වෘත්තීන්ට අමතරව සංගීතඥයන් ලෙස, රාජ්‍යතාන්ත්‍රිකයන් ලෙස, භාෂා පරිවර්ත්‍රකයන් ලෙස විශේෂිත වූ කාර්යභාරයන් පවා යුදෙව් ජනතාව ඉටුකර තිබෙනවා. මෙම කාලය යුදෙව්වන් නම් කර තිබෙන්නේ Emancipation ලෙසටයි. ඒත් 18 වන සියවසෙන් පසුව නම් ‍බොහෝ යුරෝපීය රටවල් යුදෙව්වන්ට එරෙහිව විවිද නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ එක්කම මධ්‍යතන යු‍ගයේ පල්ලිය නම් යුදෙව්වන් කෙරේ දයාවක් පෙන්නුම්කර නැහැ. පල්ලි‍ය පනවපු නීති අනුව යුදෙව්වන්ට ඉඩම් වලට හිමිකම් කීම හා රැකියාවක නියැලීමත් තහනම් කල බව තමයි පැවසෙන්නේ. පල්ලියේ නීතිවලට අනුව කිතුනුවන්ට පොලියට මුදල් ණයට දීමත් තහනම් කර තිබුනත් ණයට මුදල් ගැනීම නම් තහනම් කර තිබුනේ නැහැ. මේ නිසා කිතුනුවන් මුදල් පොලියට ගත්තේ යුදෙව්වන්ගෙන්.

මධ්‍යතන යුගයේ කතෝලික පල්ලිය දැඩි විරෝදත්වයත් යුදෙව්වන් හා ඔවුන්ගේ ආගම වූ ජුදා ආගම කෙරේ දැක්වූ අතර කිතුදහම, ජුදා ආගමට වඩා ශ්‍රේෂ්ඨ බව ඔවුන්ගේ ඉගැන්වීම වුවා. ඔවුන් මිත්‍යාපවා තම බැතිමතුන්කෙරේ ඇති කිරීමට වගබලා ගත්තා 13 වන සියවසට අයත් ජර්මානු පල්ලියක ජනේලයේ නිර්මණය කල මෙම නිරූපනයෙනුත් පැහැදිලිවන්නේ එයයි. කිතු දහම වම් පසින් නියෝජනය කරන අතර දකුණු පසින් ජුදා ආගම නිරූපනය කරනු ලබන මෙහි කිතුදහම ඔටුන්නක් පැලද ඉහල මට්ටමක තබා ඇති නමුත් ජුදා ආගම යනු දෑස් බැදගත්, සත්‍ය දැකීමට බාධාකරන දහමක් ලෙස පෙන්වාදී තිබේ. එසේම යක්‍ෂයා සබදකම් පවත්වන ආගමක් ලෙස ජුදා ආගම හදුන්වා ඇත්තේ යක්‍ෂයාගේ සලකුණ ලෙස සලකන එළු අග දැතින් දරා සිටීම දැක්වීමෙනි.


ඒ එක්කම ද්වේශ සහගත මිත්‍යාමත දෝතින් දරාගන්නා මධ්‍යතන යුගයේ විසූවන් යුදෙව්වන් යනු අං තිබෙන, දෙකට බෙදුන වලිගයක්ද ඇති උරගයන් වැනි ජීවින් කොටසක් ලෙස විශ්වාස කර තිබෙනවා. තවද යුදෙව්වන් යනු ලේ පිපාසිතයන් ලෙස ඔවුන් උපුටා දක්වා ඇත්තේ ඔවුන් කිතුනු දරුවන් මරා එම රුධිරය යුදෙව්වන් තනන විශේෂිත වූ පාන් වර්ගයක් තැනීමට භාවිතා කරන බවයි.

Anti-Semitism නැතහොත් යුදෙව්වන්ට වෛරීසහගත ලෙස හෙලා දැකීම ඉතා ඈත කාලයේ සිට පැවත ආවත් එය ශක්තිමත් වී තිබෙන්නේ මධ්‍යතන යුගයේ පල්ලියෙන්. ඔවුන්ගේ විශ්වාසය අනුව ජේසුස් වහන්සේගේ අකල් මරණය සිදුවීමට වගකිවයුත්තේ යුදෙව්වන් බවයි. එහෙත් වර්ථමානය වන විට මෙම දෙකොට්ඨාශය ඉතාමත් මිත්‍රශීලීව දේශපාලනයේ පවා යෙදෙන අයුරු සුලභව දැකගත හැකියි.වර්ථමානයසේම  1789-1799 අතර කාලයේ සිදුවූ ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශයේ විසූ යුදෙව්වන්ට, ප්‍රංශයේ අනෙක් ජනතාව හා සමානව සලකන්නත් පාලකයන් ත්‍යාගශීලි වෙලා තිබෙනවා.

ප්‍රංශ විප්ලවය සිත්‍තරෙකු දුටු හැටි

ප්‍රංශයේ එසේ ජනහිතකාමී කරුණාවන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කලත් දෙවන ලෝක යුද්දය අහවර වන තුරු යුරෝපයේ බොහෝ රටවල් යුදෙව්වන් කෙරේ අනුගමනය කල ප්‍රතිපත්තිය සුභදායිවූයේ නැහැ. 17 වන සියවසෙන් පසුව රුසියාවේ සහ නැගෙනහිර යුරෝපයේ රටවල යුදෙව්වන්ට එරෙහිව භාවිතා කල කොල්ලකාරී, විනාශකාරී සංහාරය හැදින්වූයේ Pogroms නමින්. 1905 ට පමණ අදාල දත්ත අනුව 3000 ක පමණ යුදෙව්වන් පිරිසක් වරින්වර ක්‍රියාත්මක කෙරුන Pogroms 600 ක පමණ අවස්ථාවලදී මියගොස් තිබෙනවා. මේ සිතුවමින් දැක්වෙන්නේ එලෙස ඔවුන් වාසය කල shtetl ගිනි තබද්දී තම දරුවා රැගෙන පලා යන පියෙකුගේ නිරූපනයක්. සිතුවමක් වූවත් එයින් ඇති කරන ලද කම්පනය දෑසට කදුළු මුසු කරන්නට සමත් වූ බව කිවයුතුයි.

කෙසේවෙතත් යුදෙව්වන්ට එරෙහි පදනම් විරහිත ප්‍රචාර ආදිය දෙවන ලෝක යුද්දය නිමාවන තුරුම පැවති යා.

එසේම යුදෙව්වන්ට සහනදායි පිළිවෙතක් අනුගමනය කල රටවල් පවා යම් වැරැද්දකට යුදෙව්වකු සැකකරුවෙකු වූ විටක අනුකම්පාවිරහිතව හා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කල බවට නිදසුන් බොහෝ ඇත. මෙඑවැනි අවස්ථාවකට නිදසුන්ය. එනම් 1894 දී ප්‍රංශයේ යුද හමුදාවේ සේවය කල යුදෙව් නිළධාරියෙකු වන Alfred Dreyfus අත්අඩංගුවට ගත්තේ ඔහු ප්‍රතිවිරුද්ධ පාර්ශවයන්ට ඔත්තු සපයන අයෙකු ලෙස චෝදනා නගාය. මෙම පෝසටරයේ ඔහු ද්‍රෝහියෙකු ලෙස දැක්වූවත් ඔහුට විරුද්ධ සත්‍ය වශයෙන්ම සාක්‍ෂි නොමැති වූ බවද පැවසේ. එහෙත් නඩු විභාගයේදී වරදකරුවෙකු ලෙස ඔහු නම් කරනු ලැබීය. ඒ අවධියේ දේශපාලව ක්‍ෂෙත්‍රය පවා කැලඹීමට ලක්කල මෙම සිද්ධිය The Dreyfus Affair ලෙස හැදින්වේ. 

Dreyfus ඉහල හමුදා නිළධාරියෙකු නිසා ඔහු නියෝජනය කල ප්‍රංශ ඉහල පැලැන්තිය අතර ඇතිවූ දෙකඩ වීම පසුව මෙම සිද්දිය සාධාරණත්වයෙන් යුතුව විමසීමට එරට නීති ක්‍ෂෙත්‍රයට මඟපෑදු අතර ඔහුට නැවතත් නිදොස්ව ගෞරවාන්විතව හමුදාවට සම්බන්ධවමටත් පසුව 1907 දී විශ්‍රාම ගොස් නැවත පළමු ලෝක යුද්දයේදි ප්‍රංශය වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම යුද වැදීමේ ගෞරවයද හිමිවිය. මේ තිබෙන්නේ ඔහු මුහුණු පෑ සිදුවීම් වලට පසුව ප්‍රංශ සමාජය දෙකට බෙදී ගැටෙන අයුරු 1898 දී පළවූ පුවත් පතක කාටුනයෙන් නිරූපිත ආකාරයයි. 
Alfred Dreyfus පසුකලෙක තමන්ට එල්ල වූ ‍චෝදනා වලින් නිදහස් වූවත් ඔහුට එරෙහිව නඩුව විභාග වෙද්දී එය වාර්තා කිරීමට පැමින සිටි Austro-Hungarian වාර්තාකරුවෙකු වූ Theodor Herzl ට අනාගතයේ යුදෙව් ප්‍රජාවට එල්ලට විය හැකි තර්ජනය ඉවෙන් මෙන් වටහා ගත්තේ යුදෙව් විරෝදය නීතිපද්දතීන් ඔස්සේද තහවුරු වීම මගින් ප්‍රංශයේ පමණක් නොව යුරෝපයේද යුදෙව්වන්ට නිදහසේ ජීවත්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට ඔහු තුල වූ විශ්වාසයයි. හේ නිසා තමන්ගේම කියා රටක් පිලිබදව වූ වැදගත්කම පිළිබදව අදහස් පල කල ඔහු Zionism සංකල්පය පිළිබදව පළමු සම්මේලනය 1896 දී සංවිධානය කරනු ලැබුවා.

තවදුරටත් යුදෙව් ජනතාව පිළිබදව කිවයුතු දේ බොහෝයි. එහෙත් ලිපිය සෑහෙන්න දිග වැඩිවෙන නිසා එම දේවල් ඉදිරි කොටසින් දැනගමු.

මෙම ලිපියේ දෙවන කොටස -
පොත් ගිනි තැබීම, වීදුරු බිදුන රාත්‍රිය, ටිබෙටයේදී මුහුනත් තහඩු අච්චු සැදීම - Before WWII - Part V


මේ දක්වා මෙම ලිපි පෙලේ පළවූ ලිපි -
 දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II
ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III




Tuesday, March 20, 2012

ස්පාඥයේ වාමාංශිකයන්ට එරෙහිව දක්‍ෂිනාංශිකයන් - III

දෙවන ලෝක යුද්දයට පෙර ලිපි පෙලේ තවත් ලිපියක් ලෙස අද ඔබට ගෙන එන්නේ දෙවන ලෝක යුද්දයට පෙර සිදුවූ තවත් ජර්මානු හිතවාදී ආණ්ඩු පෙරලියක් පිළිබදවයි. මෙම ආණ්ඩු පෙරලිය සිදුවුනේ ස්පාඥයේදී ඒ 1936 ජූලි 17 සිට 1939 අප්‍රේල් 01 දා සිදුවූ ස්පාඥය සිවිල් යුද්දයෙන් අනතුරුවයි.


ලේ හෙලවීම් රැසක් සිදුවූ මෙම කැරැල්ල සිදුවූයේ වාංමාශික ආණුඩුවක් වූ දෙවන ස්පාඥය ජනරජය හා හමුදා ජනරාල්ව‍රයෙකු වූ Francisco Franco නායකත්වයෙන් මෙහෙයවුන දක්‍ෂිනාංශික ජාතිකවාදී කැරලිකරුවන් අතරේයි. මෙම සිවිල් යුද්දය එරට හමුදාවේ ඉහල නිළධාරීන් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණයකික් පසුව ඇරඹුන මෙම යුද්දයට ආසන්නම හේතුව Franco ඇතුළු හමුදාවේ ජනරාල්වරුන් කිහිපදෙනෙකුම තමන් එතෙක් දැරූ තනතුරුවලින් පහත දැමීමයි. මේ සමග ඇතිවූ  නොහදනෝක්කඩු සමග ඇරඹුන යුද්දයට  නායකත්වයදුන් Francisco Franco යනු හමුදාමය පසුබිමක් ඇති පවුලක 1892 දී උපත ලෑබ පසුව නාවික හමුදාසේවයට එක්ව පසුව ස්පාඥය යුද හමුදා සේවයට එක්වන ඔහු 1926 දී එනම් ඔහුට වයස 34 ක් ව තිබියදී ජනරාල් පදවියකින්ද පිදුම් ලැබූවකු වන අතර එවකට යුරෝපයේ සිටි ලාබාලම ජනරාල්වරයා ලෙස සැලකෙන්නේද ඔහුයි. ඔහු මෙතරම් ඉක්මනින් හමුදාසේවයේ ඉහලටම එන්නට හේතුව 1920-1926 අතර කාලයේ උතුරු මොරොක්කෝවේ ස්පාඥය සටන් වැදුන Rif War නැතහොත් the Second Moroccan War දී  දෙවන අණදෙන නිළධාරියා ලෙස දැක්වූ දක්‍ෂතාවයයි.

ස්පාඥය රජපවුලේ හිතවතෙකු වූ ජනරාල් Franco එම රාජාණ්ඩුව 1932 දී බිච වැ‍ටීමෙන් පසුව බිහිවූ ආණ්ඩුව සමග එතරම් ඇයිහොදයියක් නැති දේශපාලනයෙන් තොර පුද්ගලයෙකු ලෙස තම රාජකාරිය කරගෙන ගිය අතර ඔහු හා ආණ්ඩුව අතර ප්‍රථම ගැටුම නිර්මාණය වුනේ එවකට ඔහු ප්‍රධානියා‍ ලෙස සේවය කල, කැඩෙට් නිළධාරීන් පුහුණු කල හමුදා ඇකඩමිය, ආණ්ඩුවේ යුද අමාත්‍යවරයා විසින් වසා දැමූ පසුව වන අතර ඉන්පසුව කාර්යභාරයක් නොමැති ජනරාල්වරයෙකු බවට පත්වනවා පමණක් නොව ආණ්ඩුවේ විපරමටද ලක්වූ අයෙකු බවට පත්වූ පසුවයි.

කෙසේවෙතත් රටතුල රජකල ස්ථාවරත්වය, ඉහලපෙලේ හමුදා හා දේශපාලනඥන්ගේ ඝාතන සමග නොසන්සුන් තත්ත්වයකට පත්ව තිබූ ස්පාඥයේ එවකට සමාජ වටපිටාව තුල 1936 මහා මැතිවරණයෙන් පසුව සිදුවූ හමුදාවේ වෙනස්කම් හා කුමන්ත්‍රණ සමග දක්‍ෂිනාශිංක ජාතිකවාදීන් කරලියට පැමිණෙන අතර ස්පාඥයේ ජනසහයෝගීත්වය දෙපාර්ශවයකට බෙදී යන අතර ආගමික, දේශපාලනික හා හමුදාමය කොටස්ද දෙපාර්ශවයකට බෙදී ඇනකොටා ගන්නා තත්ත්වයට පත්වී එය වසර තුනක් පමණ කාලයක් බිහිසුනු ලෙස ගෙවීයයි.


මෙම සිවිල් යුද්දය ස්පාඥයේ රටවැසියන් අතර පවතින යුද්දයක් වූවත් එයට බාහිර සහයද නොමදව ලැබුනි. ජාතිකවාදී පාඨය සමග දේශපාලනය කෙරුන ජර්මනියේ සහ ඉතාලියේ සහය මෙම කැරලිකරුවන්ට ලැබුන අතර Francisco Franco ගේ දේශපාලන ප්‍රවිශ්ඨයද ෆැසිස්ට් ස්වරුපයක් ගත් නිසා ෆැසිස්ට්වාදයම සරණගිය ජර්මනිය හා ඉතාලියද මෙම නවතම මිතුරාට හොදට ගැලපුන අතර අසල්වැසි පෘතුගාලය, සෝවියට් දේශය හා මැක්සිකෝවේ සහය වාමාංශික පාලක ආණ්ඩුවට ලැබුනි. මෙම සහය මූල්‍යමය හා ආයුදවලින් පමණක් නොව හමුදාමය වශයෙන් යුද්දයට සහභාගීවීමෙන්ද ලබා දුන්හ.මේ තිබෙන්නේ එලෙස මෙම යුද්දයට සම්බන්ධවූ පාර්ශවයන් හා ඔවුන්ට යුද්දයෙන් සිදුවූ හානි පිළිබදව දළ සටහනක් හා යුද්දයේදී  ගන්නා ලද සේයාරූ සමූහයකි.
නොබියම සතුරා ඉදිරියට පැමිණීම


ගුවන් ප්‍රහාර වලින් වැලකීමට සාමන්‍ය වැසියන් ගන්නා උත්සාහය

ගුවන් ප්‍රහාරයකින් පසුව උඩු ගුවනේ සිට ගන්නා ලද සේයාරුවක්

ප්‍රතිවාදියෙකු අල්ලා ගැනීම

ෆැසිස්ට් කැරලිකරුවන්ගේ ජයට වඩා ඇමරිකාවද අපේක්‍ෂාකලේ ප්‍රජාතන්ත්‍රවාදී රජයේ පැවැත්මයි.
මේ ඇමරිකාවෙන් එරට රජයට පරිත්‍යාග තරන ලද ගිලන් රථයකි


කැරලිකරුවන්ට එරෙහිව කාන්තාවන් පුහුණු කරන අයුරු

කදුකරයේ සිට හමුදාවෙත පහර දෙන දක්‍ෂිනාංශික කැරලිකරුවන්

මේ පිපිරුම පරමාණු බෝම්බ සොයා ගැනීමට බොහෝ කලකට පෙර සිදුවූවකි

වසර තුනක් ඇවිළුන මෙම යුද්දයෙන් ජාතිකවාදී දක්‍ෂිනාංශික කණ්ඩායම ජයගත් අතර Francisco Franco එරට නායකත්වයට පත්විය. ඔහුගේ පාලනය එතැන් සිට 1975 දී ඔහු මිය යන තාක් පැවතුන අතර එය ඒකාධිපති එකක් විය. උග්‍රවාමාංශික විරෝධියෙකු වූ ඔහු දෙවන ලෝක යුද්දයේදී ජර්මනියට සහය පලකල අතර තමන්ට බලයට පත්වීමට උපකාර කල ජර්මානුවන්ගේ සහයට ඔහුගේ හමුදාද සෝවියට් දේශයට පහරදීමේදී නැගෙනහිර යුද පෙරමුනේදී එක්විය. ඔහුගේ කාලය තුල ස්පාඥයේ සමූහ සිරකදවුරු පවා ස්ථාපිත කර තිබූ අතර විරුද්ධවාදීන් දැඩි ලෙස මර්ධනය කිරීම ඔහුගේ කාලයේ සුලභ විය.

දෙවන ලෝක යුද සමයේදී ඔහුව බලයෙන් පහකිරීමට ඇමරිකානු-ලතින් ඇමරිකානු එකමුතුවක් තිබුනද දෙවන ලෝක යුද්දය නිමාවෙන් පසුව ඇමරිකාව හා ඔහුගේ නායකත්වයෙන් යුතු රජය ගජ මිතුරන් වූ අතර එයට හේතුව වූයේ ඇමරිකාවේ කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තියට Francoගේ උග්‍ර කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තිද මනාලෙස ගැලපීමයි.
මේ ප්‍රධාන කතාවට අමතරව තවත් සිදුවීමක් ගැනද කිවයුතුය. 1936 දී ග්‍රීස්ම ඔලිම්පික් තරඟාවලිය පැවැත්වුනේ ජර්මනියේ බර්ලින් නුවරදී වූ අතර එවිට ජර්මනියේ සුපිරි පාලකයා වූයේ හිට්ලර්ය. සුදු වර්ණභේදවාදී ආර්ය ජනතාවක් පිළිබදව දැඩි මතධාරියෙකුවූ ඔහු සෑම විටකම මෙම තරඟයේදීද බලාපොරොත්තුවූයේ සුදු ජාතිකයන්ගේ ජයග්‍රහණ පිළිබදවයි.
එහෙත් ඇමරිකාව නියෝජනය කරමින් පැමිණ සිටි කළුජාතික තරඟකරුවෙකු වූ Jesse Owens ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන මතකය් ඉතිරිකරමින් දුර පැනීම, මීටර් 100, මීටර් 200 හා මීටර් 100 x 4  සහය දිවීම යන ඉසව් හතරෙන්ම රන් පදක්කම් දිනා එකම ඔලිම්පික් තරඟයකදී රන් පදක්කම් හතරක් දිනා ගත් ප්‍රථමයා වීමට සමත්වූ අතර දැඩි වර්ණභේදවාදියෙකු වූ හිට්ලර්ට මෙය ඉහිළුම් නොදෙන සිදුවීමක් විය. මේ නිසා තරඟය නරඹමින් සිටියත් පදක්කම් ප්‍රධානය කරන අවස්ථාවලදී එය මඟහැර යාම හිට්ලර්වෙතින් සිදුවී අතර තවත් කිවයුත්තක් වන්නේ වර්ණභේදවාදය එවකට කොතරම් සුදු ජාතිකයන් අතර ඔඩුදුවා පැවතුනේද යත් ඔවන්ස්ගේ තරඟ ජයට සුභපතා ඔහුගේම රටේ ජනපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩි රුස්වෙල්ට් පවා සුභ පැතුම් නොඑවීමයි. තවද මෙවන් ජයග්‍රායකයන් ධවල මන්දීරයට කැදවා භෝජන සංග්‍රහයක්ද ලබාදී සව්දිය පිරීම සම්ප්‍රධායක් වූවත් ඔවන්ස්ට උරුම තිබුනේ කළුහමක් නිසා එම භාග්‍යද අහිමිවිය. අඩුම තරමින් රුස්වෙල්ට් ගෙන් පසුව නායකත්වයට පත්වූ ටෲමන්වත් මේ වැරැද්ද නිවැරදි කිරීමට ඉදිරිපත් නොවූහ.



කෙසේවෙතත් ටෲමන්ගෙන් පසුව 1953 දී බලයට පැමින ඩිවයිට් අයිසන්හවර්, 1955 දී ඔවන්ස් යනු "ක්‍රීඩා තානාපතිවරයෙකු" ලෙස ගරුබුහුමනට ලක්කිරීම පැසසිය යුතු කරුණකි.


මේ ජර්මනියේ දර්ශනයක් නොව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර නාසි ශාඛාවේ දර්ශනයකි.
නාසින්ට සුදුහම ඇත්තන්ගේ සහයට තවත් සාක්‍ෂියක්

ගුවන් නෞකා ලෝකයෙන් තුරන්ව යාමට පෙරාතුව ජර්මනිය හා ඇමරිකාව අතර ගමනාන්තයකදී
ඇමරිකාවේ එම්පයර් එස්ටේට් ගොඩනැගිල්ල අසලින් යන අවස්ථාවක්

දැන් මෙම ලිපියද අවසන් කරනු ලබන අතර තවත් දෙවන ලෝක යුද්දයට පෙර සිදුවීම් රැසක් සමග තවත් ලිපියකින් හමුවෙමු...

මීට පෙර මෙම තේමාව යටතේ ලියන ලද ලිපි -
දෙවන ලෝක යුද්දයට නෑකම් කියන ඔබ නොදුටූ පින්තූර හා විස්තර - I
කළු කමීසකාරයන්, ඉතියෝපියානු ආක්‍රමණය හා මුසලෝනි පිළිබදව ඔබ නොදුටූ නොඇසූ දේවල් - දෙවන ලෝක යුද්දයට පෙර - II

මූලාශ්‍ර -

http://www.onwar.com/aced/nation/sat/spain/fspain1936.htm
http://www.historylearningsite.co.uk/causes_spanish_civil_war.htm