Thursday, July 28, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? උතුර දකුණ මාරුවිම හා Nibiru - 10 කොටස

මේ ලිපියේ කරුණු පසුගිය ලිපියටම එකතු කරන්නට සිතා සිටියත් එම ලිපිය තවදුරටත් දිගින් වැඩිවීම හා එය පලකිරීමට තව කාලයක් ගතවීම යන හේතු නිසා මෙම ලිපි මාලාවට තවත් ලිපියක් එකතු කරන්නට සිදුවූ බව ඔබට මුලින්ම කිවයුතුය. මෙම ලිපිය අරඹමින් කියන්නට යන්නේ යම් හෙයකින් 2012 දී මේ සිදුවෙන්නට යැතැයි සම‍හරෙකු කියද්දී, තව පිරිසක් කිසිසේත් සිදුනොවෙතැයි ඔට්ටු අල්ලන ලෝක විනාශයේ තවත් විනාශකාරී සාධකයක් ලෙස හදුන්වනු ලබන පෘතු‍වියේ උතුර දකුණ මාරුවීම යන සරල නාමකරණයෙන් හැදින්විය හැකි සේම විද්‍යාත්මකව පවසන්නේ නම් geomagnetic reversal or "polar reversal" හෝ "pole shift ලෙස හැදින්වෙන පෘතුවියේ චුම්භක උතුරු හා දකුණ එකිනෙක මාරුවීම යන ක්‍රියාවලිය සදහන් කල හැක.

මෙම polar reversal ගැන කතා කිරීමේදී ඇතැම් විද්‍යාඥයන් හා විශ්වවිද්‍යාව (cosmology) ගැන පොත පත ලියා ඇති විවිද කතුවරුන් එය බිහිසුනු ව්‍යවසනයක් යැයිඅර්ථකථන සපයද්දී එයට ප්‍රතිවිරුද්ධ අදහසක් සපයන පිරිසක්ද සිටි. කෙසේවෙතත් අවසන් වරට මෙවැනි චුම්භක මාරු වීමක් සිදුවී ඇත්තේ මීට වසර 780,000 කට පෙරදී බව පැවසෙන අතර නැවත මෙවැනි සංසිද්ධියක් සිදුවීමට තව සෑහෙන කාලයක් ගතවන බවද මෙය පිළිබද මතදරන්නන් පවසයි.

මෙය සිදුවීම හෝ නොවීම අනාගතයට භාරකරන අතරම මෙවැනි සංසිද්ධියකදී අපට දැකීමට සිදුවන සරලතම ක්‍රියාව ලෙස පැවසිය හැක්කේ ඔබගේ මාලිමා යන්ත්‍රයේ කටුව දැන් පිහිටා ඇත්තේ ලෝක සිතියමේ කැනඩාව දෙසට නම් මෙය සිදුවූ පසු එහි කටුව ඇන්ටාරිකාව දෙසට පිහිටීමයි. එසේ වුවත් එවැනි සංසිද්ධියක් ලඝු කොට තැකිය නොහැක්කේ අපගේ පෘතුවියද දැන් භ්‍රමණය වන දිශාවට නොයා ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වීමට මෙම polar reversal ක්‍රියාදාමය හේතුවීමයි. කෙසේවෙතත් මෙ‍සේ පෘතුවිය ප්‍රතිවිරුද්ධ දිශාවට  භ්‍රමණය වන්නේ නම් ඉන්පසු අපිට උදෑසන සූර්යයා දිස්වනු ඇත්තේ බටහිර දෙසිනි. ‍

එසේම චුම්භක මාරු වීම නිසා 2012 චිත්‍රපටියේදීද අපිට දැකගත හැකිවූ ආකාරයට අතිවිශාල භූමිකම්පා මෙන්ම කිලෝමීටර් ගණන් උසට ඇති උදම් රළ හා අතිදැවැන්ත සුනාමි (megatsunamis) තත්වයන් ඇතිවීමෙන් ලෝකයේ රටවල් ගණනාවක් එයට යටවීමෙන් ඒවා ලෝකසිතියමෙන් මැකීයාමට වුවත් හේතුවිය හැකි බවට බිය පලකරයි. එපමණක් නොව පෘතුවියේ මතුපිට කබොල්ල කිලෝමීටර් දහස්ගණනාවක් එහා මෙහා වීමටත් එමගින්ද රටවල් ගණනාවක් පැය කිහිපයක් තුල පෘතුවි ගෝලයෙන් තුරන්ව ඉතිහාසයට එක්වනු ඇති බවටත් මත පල කර ඇත. ඉන් නොනැවතෙන මෙම ව්‍යවසනකාරී වාතාවරණය හේතුකොටගෙන එකපෙලට සිදුවන ගිනිකදු විධාරනයන්ද, සුලි සුලං වල මහාපරිමාණයේ තත්වයන්වන hypercane හෝ megacyclones ඇතිවිය හැකි බවටද ඉඟිපල කරයි. මේ සියල්ලටම වඩා බිහිසුනුම තත්වය ලෙස සලකන්නේ පසුගිය ලිපියේද පැවසූ පරිදි සූර්යයාගෙන් පැමිනෙන සූර්යය කුනාටු හා කොස්මික් කිරණ වලින් අප ආරක්‍ෂාකරන පෘතුවියේ චුම්භක ක්‍ෂෙත්‍රය බිදවැටීමෙන් ඉහත කී කිරණ ලෙස පැමිනෙන ආරෝපිත අංශුවලට අපගේ නිවහන වන පෘතුවිය ආක්‍රමණය කිරීමට හැකිවීමයි.

පෘතුවියේ අභ්‍යන්තරයේ මධ්‍යයේ ඇති අයනගෝලයන්ගේ භ්‍රමණය නිසා ඇතිවන ඩයිනමෝ ක්‍රියාකාරීත්වය හේතුවෙන් උත්පාදනය වන පෘතුවි චුම්භක ක්‍ෂෙත්‍රය මෙසේ සම්මත තත්වයෙන් වෙනස්වීම කෙරේ විවිද වූ හේතු විද්‍යාඥයන් ඉදිරිපත් කරන අතර ඒවාටද ප්‍රතිවිරුද්ධ මතද නැතුවා නොවේ. එයට අභ්‍යන්තරික හේතුලෙස මහද්වීපික පලක පෘතුවි ප්‍රවාරය (mantle) දෙසට පහලට ගමන් කිරීම වැනි කාරණා නිසා ඩයිනමෝ ක්‍රියාකාරීත්වයට බාදා පැමිනීම මෙන්ම බාහිර හේතු ලෙස පසුගිය ලිපියේද පැවසූ සූර්යය චක්‍රයන්ගේ බලපෑම මෙන්ම සූර්යය කුණාටු වලින් ඇතිවිය හැකි බලපෑම නිසා හා සූර්යයාගෙන් එල්ල වන කොස්මික් කිරණ වල බලපෑමද මෙයට හේතුලෙස ගෙනහැර දක්වයි.



මෙම සියළු කරුණු මීටත් වඩා සරලව ඔබට වටහා ගැනීමට අවශ්‍ය නම් එයට දැක්විය හැකි හොදම උදාහරණයක් නම් 2003 වසරේදී තිරගතවූ The Core චිත්‍රපටියයි.
(http://en.wikipedia.org/wiki/The_Core). එහිදී පෘතුවීයේ භ්‍රමණය නතර වීමෙන් පසු චුම්භක ක්‍ෂෙත්‍රය ගිලිහී යාමෙන් සූර්යයාගේ කොස්මික් කිරණ වලට අප ගොදුරු වන අයුරු හා එය වලකා ගැනීමට පෘතුවි මධ්‍යයට ගොස් නශ්ඨික පිපිරීමක් සිදුකර එයින් ඇති කරගන්නා ආරෝපණයෙන් නැවත පෘතුවි භ්‍රමණය සිදුකරවාගන්නා අයුරු චිත්‍රපටියට නගාගෙන ඇත.

එය ‍එසේ පැහැදිලි කරද්දී මෙම 2012 සංසිද්ධියට අදාල වන තවත් විනාශකාරී සාධකයක් ලෙස ඇතැම් මතධාරීන් පෙන්වාදෙන්නේ Planet X හෙවත් Nibiru ලෙස බැබිලන් භාෂාවෙන් නාමයකින් හදුන්වන "Planet of Crossing" හෝ "Point of Transition" ලෙසින් අර්ථ දැක්විය හැකි ග්‍රහලොවක් පෘතුවිය හා ගැටීමයි. නැතහොත් මෙම ආසන්න කාලයේදී මෙම ග්‍රහයාගේ ගමන් මාර්ගය අපගේ කක්‍ෂතලය හරහා වැටී තිබීමයි.
(“The plain meaning of “nibiru” is “ferry, ferryman, ford” – “mikis nibiri” is the toll one has to pay for crossing the river – from eberu “to cross”)
සුමේරියන්වරුන්ගේ මූලාශ්‍ර වලද සදහන් මෙම ග්‍රහයා පිළිබදව විද්‍යාඥයන් නම් පවසන්නේ ප්ලූටෝ ග්‍රහයාට එපිටින් යම් ග්‍රහලෝකයක් තිබේනම් පොදුවේ එම ග්‍රහයා හැදින්වීමට මෙම Nibiru  නම් නාමය යොදාගන්නා බවයි.
The 4500 year old Akkadian seal appears to indicate the relative size of the Jovian planets to our Sun
එසේම ප්ලූටෝ ග්‍රහලෝකයට පසුව තිබේයයා පවසන දසවන ග්‍රහලෝකය වන Eris ග්‍රහයා පවා සමහර අවස්ථාවල මෙම ග්‍රහයා ලෙස හදුන්වන අවස්ථාද නැතුවා නොවේ. Nibiru ග්‍රහයා පිළිබදව NASA ආයතනය මගින් බැහැර කරන අතර එය මිත්‍යාවක් බවත් සිදුවී ඇත්තේ අන්තර්ජාලය හරහා ව්‍යාජ මතයක් සංසරණය වීම හා අන්තවාදී ආගමික කල්ලි සිය ආගමික මතවාදයන් ව්‍යාපත්ත කර ගැනීම පිනිස මෙම ග්‍රහයා පිළිබදව අසත්‍ය මත පතුරවන බවටද චෝදනා කරයි.

එය කෙසේවූවත් මෙම ග්‍රහලෝකය පවතිනවාය යන මතය දරන පාර්ශවයන්ගේ මූලිකම තර්කය වන්නේ NASA ආයතනය සාමාන්‍ය මහජනතාවගෙන් අතීතයේ සිටම ඇත්ත තතු සඟවන නිසා මෙවරද ‍එම ලෙසම ක්‍රියාකරන බවයි. එසේම NASA ආයතනය දක්‍ෂින ධ්‍රැවයේ ස්ථාන ගත කර ඇති South Pole Telescope  පද්දතියෙන් පවා මෙය ග්‍රහණය කරගෙන තිබියදී හා 1983දී IRAS (the Infrared Astronomy Satellite) මගින් ගන්නා ලද ඡායාරූපවලද මෙම අදභූත ග්‍රහයා දිස්වන බවට සාක්‍ෂි තිබියදීත් මෙම කරුණ ප්‍රතික්‍ෂේප කරමින් සිටින බවට චෝදනා රැසක් නැගේ.ඒනිසා මෙම සංසිද්ධිය පිළිබදව ගොඩනැගී ඇත්තේ එකිනෙකට පරස්පර මතගැටුමකි. තවද 1980 තරම් ඈත කාලයේදී පවා මෙම ග්‍රහයා අයත් Dark Star නම් තාරකාව හදුනාගෙන තිබෙන බවයි.





මෙම Dark Star නම් තාරකාවක් වටා ඇති කක්‍ෂයක ගමන් ගන්නා ග්‍රහයෙකු වන Nibiru මීට පෙරද පෘතුවියේ නොගැටී අපගේ කක්‍ෂතලය හරහා ගමන් ගත් බවද පවසයි. එම පිරිසගේ මතය අනුව එහි ගමන් පථය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට හරහා ආසන්න වශයෙන් අංශක 30 ක්  ආනතව වැටී ඇති අතර එය අතිදීර්ඝ කාලපරාසයකට වරක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පථය හරහා ගමන් ගන්නා බවද කියයි.

මෙම ග්‍රහයා Dark Star ගේ සත්වන ග්‍රහයා වන අතර විශාලත්වය අපගේ බ්‍රහස්පතී ග්‍රහයාවැනිය.

එසේම මෙම Nibiru ග්‍රහයා මීට පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලොවක ගැටීම නිසා එම ග්‍රහවස්තුව පිපිරීමෙන් අඟහරු හා බ්‍රහස්පතී අතර ඇති ග්‍රාහක කලාපය ඇතිවූ බවටද මතයක් පල කරයි.

මෙම ග්‍රහයා ප්ලූටෝ ග්‍රහයා පිහිටි කක්‍ෂයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ කක්‍ෂ තලයට ඇතුළුවන ස්ථානය Kuiper Gap ලෙස හැදින්වේ.

තවද එහි ගමන් පථය අනුව එය ගමන් කරන්නේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් බහුතරයක් ගමන් ගන්නා දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටයි. මෙම තත්වය "retrograde motion of Nibiru" ලෙස හදුන්වයි.

මෙසේ Nibiru ග්‍රහයා පිළිබදව දෙපිරිසක් මතවාද දෙකක් ඔස්සේ කදවුරු බදිද්දී එක් කරුණක් පැහැදිලිය. එනම් ලෝකයේ වගකිව යුතු ආයතන රැසක් අපගෙන් කරුණු රැසක් සඟවාගෙන සිටින බවයි. එසේනම් මෙම ලිපිය මෙතකින් අවසන් කරන අතර ඉදිරිලිපියේදී නැවත හමුවී තව තවත් කරුණු සොයාබලමු...

(Nibiru පිළිබදව පැහැදිලි කිරීමට ගන්නා ලද ඡායාරූප බොහෝමයක් http://www.darkstar1.co.uk වෙබ් අඩවියෙන් ලබා ගන්නා ලදි).


Wednesday, July 20, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? හිරු දෙවියන් කෝප වූ කල - 9 කොටස

මීට පෙර ලිපියේදී මායාවරුනගේ  දින දර්ශනය ලෝක විනාශයට බලපාන්නේද යන කාරණාවට අවධානය යොමුකල බව ඔබට මතක ඇති. එහිදී පෙනුන කරුණ වූයේ ඔවුන්ගේ Long Count දිනදර්ශනයට අනුව එය අවසන් වී නැවත මූලාරම්භයට පත්වීම වැනි කරුණකින් ලෝක විනාශයට හේතුපාදක නොවන ආකාරය හා එයින් සිදුවන්නේ යම් කාලපරාසයක් අවසන්ව නව කාලපරාසයක් ආරම්භවන බව එම ලිපියේ මුලින්ම සදහන් කරන ලද්දෙමි.

එහෙත් මෙම 2012 දෙසැම්බර් 21 වන දින දුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධි කිහිපයක් සිදුවීම මෙම කරුණ පිලිබද යම් විචිකිච්චාවක් ඇති කිරීමට හේතුවන බව ඔබ පසුගිය ලිපිය අවධානයෙන් කියවන ලද්දේනම් තේරුම් ගන්නට ඇති. අද අපි එම ලෝක විනාශයක් සිදුනොවන බව ලෝකයේ වගකිවයුතු සංවිධාන හා ආයතන රැසක් පවසා සිටියද 2012 චිත්‍රපටිය හා ඊට පෙර නිමැවුන වෙනත් චිත්‍රපටිවලින් 2012 ක් ගැන කතා නොවුනද මෙම විනාශය සිදුවිය හැකි දුර්ලභ කරුණු පිළිබදව ඒවායෙන් පෙන්නුම් කල අයුරුද දැක ගත හැකිවිය.සිනමානිර්මාණත්වකව අපහට සැහැල්ලුවෙන් සංකල්පනාවේ යෙදිය හැකිවුවතත් 2012 හා ඊට ආසන්න කාලයේදී පෙරදී කියූ ලෙස තාරකා විද්‍යාත්මක හෙවත් මූලික වශයෙන් අපගේ සූර්යයාගේ සිදුවන යම් යම් විපර්යාස හේතුවෙන් පෘතුවියට හා එහි වෙසෙන සත්ව ශාක ප්‍රජාව මෙන්ම මිනිසා විසින් නිපදවා ඇති නොයෙකුත් වස්තූන්ට හා අපගේ ක්‍රියාකාරකම්වලට එල්ල විය හැකි තර්ජනයන් පිළිබදව ලෝක විනාශය සිදුනොවුනත් විමසා බලා සිටීම කෙසේවුවත් අපතේ නොයන දෙයකි.

ලෝකයේ විසූ බහුතරයකට එතරම් විමසීමට තරම් අවශ්‍යතාවයක් නොවූ මායාවරු හා ඔවුන්ගේ Long Count දිනදර්ශනය පිළිබදව එකවරම අවධානයක් ලබා දු‍න්නේ 2012 චිත්‍රපටිය හා එය ප්‍රචාරණයට ඔවුන් භාවිතා කල ක්‍රමවේදය යයි කිව්වොත් ඔබ මා හා එකඟවනු ඇතැයි සිතමි. ඒ සමගම ලෝකයටම භිතියක් දැනුන අතරම තමන්ගේ ලෝකය 2012 දී විනාශ වනවාදැයි බොහෝදෙනෙකුට සිතට බියගෙනදෙන ගැටළුවක් විය.

ඒ චිත්‍රපටියෙන් දැක්වූ ආකාරයට කුනාටු, භූමිකම්පා, ගංවතුර, නායයාම් වැනි අප සුලභව මුහුන දෙන ව්‍යවසන ගැනද කියවුනි. එසේම Solar maximum හෝ solar max ලෙස හැදින්වෙන සුර්යයා‍ගේ ක්‍රියාකාරීත්වය වසර 11 ක්  ගතවන සූර්ය චක්‍රයේදී උච්ඡ අවස්ථාවකට පැමිනෙන කාලයේදී  සූර්යාගේ ලප හෙවත් Sunspot හේතුවෙන් ඇතිවන භූචුම්බක කුනාටු හෙවත් geomagnetic storm හේතුවෙන් අපගේ නිවහන වන පෘතුවියට බලපෑම් ඇතිකිරීම ගැන බියක් ඇතිකරවන සිදුවීමක් බව නොවලහා පිළිගැනීමට සිදුවන කරුණකි.

මායාවරු පමණක් නොව අතීතයේ තිබූ බොහෝ ශිෂ්ඨාචාර මෙන්ම වර්තමානයේ පවා ඇති බොහෝ ආගම් සූර්යයා නැතහොත් හිරුදෙවියන් පිළිබද ගෞරවසම්ප්‍රයුක්ත හෝ යම් බියක් සිතෙහි පෙරදැරිකරගත් සිතුවිල්ලකින් වූ අතර අපගේ රටේ පවා සිංහල අළුත් අවුරුද්ද පදනම් වී ඇත්තේ සූර්යයා මීන රාශියේ සිට මේශ රාශියට පැමිණීම යන සංකල්පය මත නිසා එයින්ම සූර්යයාට ලෝකය පුරා හිමිවී ඇති අද්විතීය ස්ථානය ගැන අමුතුවෙන් කිවයුතු නැත.

අපගේ ලිපියේ කතානායකයන් වන මායාවරු විසූ කාලයේ ලෝකය අද කරම් සංකීර්ණ නොවූවා මෙන්ම තාක්‍ෂනික අතින් අද මෙන් නොවූ නිසා එදා දවසේ අදලිපියෙන් කතා කරන සංසිද්ධි නිසා ඇති වන බලපෑම අදට වඩා වෙනස් වන්නට ඉඩ තිබුනි. ඒ අනුව මායාවරුන් ලෝක විනාශය ගැන බලාපොරොත්තු වූ ප්‍රතිළුලයන්ට වඩා වෙනස් ප්‍රතිඵල අද ලෝකය සකස්වී ඇති ආකාරය අනුව අත්විදීමට සිදුවීම ඔබ මේ ලිපිය කියවූ පසු වටහා ගනු ඇතැයි සිතමි.

ලිපිය ආරම්භ කරමින් පැවසූ Solar maximum හෝ solar max යනුවෙන් හැදින්වෙන සංසිද්ධිය දලවශයෙන් වසර  111.4 කදී පමණ සිදුවන දෙයක් වන අතර මෙය සිදුවන චක්‍රය solar cycle ලෙස හැදින්වෙන අතර මෙම චක්‍රයේ උපරිම අවස්ථාවට එළඹෙන අවධිය වන විට සූර්යයා මත සූර්ය ලප හෙවත් sunspots දිස්වෙන බව විද්‍යාඥයන් පවසයි. මෙම solar max අවධිය වන විට සූර්යයාගේ ඇති චුම්බක ක්‍ෂෙත්‍ර රේඛා විකෘති ස්වභායක් ගන්නා අතර සූර්යය සමකය මත පිහිටා ඇති චුම්බක ක්‍ෂෙත්‍රය, සූර්යය ධ්‍රැව වල ඇති චුම්බක ක්‍ෂෙත්‍රයට සාපේක්‍ෂව වේගයෙන් භ්‍රමණය වන බවද පැවසේ. සූර්යය චක්‍රයකට දල වශයෙන් වසර 11 ක් ගතවන බව පැවසුවද මෙම චක්‍රය සමහර විට වසර 9 කින් හෝ වසර 14 කින් වුවද සම්පූර්ණවන බවද වැඩිදුරටත් පැවසේ.

මේ අනුව අවසාන solar maximum සිදුවීම වසර 2000 දී සිදුවී ඇති අතර ඊලඟ සිදුවීම 2013 ජනවාරි සිට මැයි දක්වා කොයි මොහොතක හෝ සිදුවෙතැයි බලාපොරොත්තුවේ. ඒ අනුව සැලකූ කල මෙය 2012 වසරට පසුව හෝ ආසන්න කාලයක සිදුවන නිසා මෙය අපගේ මාතෘකාවට අදාල 2012 සිදුවීම් ජාලයට බලපෑමක් ඇති කරනු ඇතැයි සිතිය හැකි වුවත් සාපේක්‍ෂව ගත් කල 1928 සිට මේ දක්වා සිදුවූ චක්‍රයන්ට අදාලව දුර්වලතම උච්ඡ අවස්ථාවක් ලෙසටද මතයක් ඇත.

කෙසේවෙතත් Wikipidia වලට අනුව නම් මෙම අවිශ්වාස සහගත  solar maxima අවස්ථාව පිළිබදව NASA ආයතනය සිදුකර ඇති ගවේශනයන්ට අනුව 2012 අගභාගය වන විට මෙය සිදුවෙතැයි අනුමානකරන අතර ඔවුන් 2006 මාර්තු වලදී දක්වා ඇති අදහස් අනුව මෙම solar maxima  1859 ට පසු සිදුවන ප්‍රභලම අවස්ථාව වන අතරම මෙහි ප්‍රබලත්වය නිසා උත්රාද්‍රගෝලයේ ධ්‍රැව ප්‍රදේශ වල දර්ශනය වන northern lights නැතහොත් ඔබ අප දන්නා අවුරෝරා එළි රෝමයේදී පවා දැක ගත හැකි වන අතර ආසන්න වශයෙන් සමකයේ සිට 42° උතුරට මේවා දර්ශනය වන බව පවසයි.

සිංහලෙන් ආසන්න වශයෙන් පැවසිය හැකි සූර්යය ප්‍රභේදනය හෙවත් solar variation හි එක් සංරචකයක් ලෙසදමෙම solar cycle හෙවත් the solar magnetic activity cycle අවස්ථාව  හැදින්විය හැකිය. ඉහත කී  solar variation නිසා අභ්‍යවකාශයේ කාලගුණික විපර්යාසයන් ඇති වන අතරම ඊට අමතරව පෘතුවියේද යම් දුරකට කාලගුණික හා දේශගුණික විචලනයන්ට හා හිරු මත සූර්යය ලප ඇතිවීමටද (සූර්යයා මත චුම්භක ක්‍ෂෙත්‍රයේ විචලනයන්‍ හේතුවෙන්) වගකිවයුත්තෙකු වේ.

මෙම ලිපියේ දැනටමත් කිහිපවිටක්ම පවසා ඇති සූර්යය ලප යනු ස්ථිරව සූර්යයා මත ස්ථාපනය වී පවතින්නක්  නොව. එය සූර්යයා මත ඇති වන චුම්භක ක්‍ෂෙත්‍ර ක්‍රියා නිසා හටගන්නක් වන අතර එය හිරු මත කුමන හෝ ස්ථානයක දින කිහිපයක් හෝ ඇතැම් විට මාස කිහිපයක් පැවතී ඉන්පසුව ක්‍ෂය වීමකට බදුන්වේ. මෙම ලප නිසා චුම්භක ස්‍රාවයක් නැතහොත් magnetic flux  ඇති කරන ලබයි.

මෙම සූර්ය ලප අදුරු හා ශීත ස්ථානයන් වශයෙන් හදුන්වන අතර මේවා ප්‍රධාන වශයෙන් සූර්යය චුම්බක ක්‍ෂෙත්‍ර සමග යාවෙන සංසිද්ධියක් නිසා මෙයින් සූර්යයා මත බලසම්පන්න මෙන්ම දුර්වල චුම්බක ක්‍ෂෙත්‍ර ඇති කලාප ඇතිවීමට හේතුවන අතර එමගින් ඇතිවන දුර්වල චුම්බක ක්‍ෂෙත්‍ර ඇති ස්ථානයකින් සූර්යය කුනාටු හෙවත් Solar Winds ඇතිවේ. මෙම සූර්යය කුනාටු සමන්විත වී ඇත්තේ අරෝපිත අංශු ප්‍රවාහයකින් (stream of charged particles)වේ.

මෙම කුනාටු නිසා තවත් විවිද සංසිද්ධීන් ඇතිවන අතර එයින් එකක් වන්නේ කලින්ද පැවසූ භූචුම්බක කුනාටු හෙවත් geomagnetic storm ඇතිවේ. මේවා ප්‍රථ‍මයෙන්ම අභ්‍යවකාශ දේශගුණය වෙනස් කිරීමට හේතුපාදක වන අතර එනිසා මුලින්ම අභ්‍යවකාශයට‍ යවා ඇති කෘත්‍රිම චන්‍ද්‍රිකා ආදියේ විද්‍යුත් පරිපථයන්ට හානි පැමිනීම සිදුවේ. දෙවනුව එය පෘතු‍වියේ විදුලි සංදේශ පද්දතීන්වලට හා electrical power grid වලට හානිකර බලපෑම් ඇතිකරයි. එසේම පෘතුවියේ ධ්‍රැව පෙදෙස් වල දක්නට ලැබෙන northern සහ southern lights ලෙස හැදින්වෙන අවුරෝරා එළි වල විචලනයන් කෙරෙහිද මෙම තත්වයන් කෙරෙහි සහ සූර්යයාගෙන් බැහැරට නිරතුරවම ගමන් ගන්නා වල්ගා තරු වල සූර්ය විකිරණද සහිත වල්ගා කොටසටද (tails of comets, along with the Sun's radiation) බලපායි.
northern සහ southern lights ලෙස හැදින්වෙන
අවුරෝරා එළි
කෙසේවෙතත් පෘතුවි‍යේ පිටතින් හොදින් සැකසී ඇති චුම්බකගෝලය හෙවත්  magnetosphere නමින් හැදින්වෙන චුම්භක ක්‍ෂෙත්‍රයේදී Lorentz force නමින් හැදින්වෙන සිද්ධාන්තය භාවිතයෙන් පෘතුවිය දෙසට පැමිනෙන සූර්යය කුනාටු යනාදියෙන් පැමිනෙන ආරෝපිත අංශු පෘතුවියෙන් ඉවතට හරවා යවනු ලැබේ. මේනිසා අපගේ පෘතුවිය මේ දක්වා සෑහෙනදුරකට හිරුගෙන් මෙ‍සේ එල්ල විය හැකි තර්ජන වලින් ගලවා ගැනීමට මෙම චුම්භකගෝලයට හැකියාව ලැබී තිබුනත් අතිශයින්ම ප්‍රභල සූර්ය කුණාටුවකට හෝ භූචුම්බක කුනාටු මගින් එල්ල විය හැකි තර්ජනයට මුහුණ ‍දෙන ආකාරය කෙසේවෙතත් ගැටළුවකි.



පෘතුවියේ ඒ ඒ ‍ගෝලීය කලාපයන්ගේ සැකැස්ම
තවත් මේ ආකාරයේම තර්ජනයක් වන්නේ සූර්ය කුණාටු මෙන්ම සූර්යාගේ සිට පැමිණිය හැකි කොස්මික් කිරණ (cosmic raysවලින් ඇතිවිය හැකි ව්‍යවසනයයි. සාමාන්‍යයෙන් සූර්ය කුණාටු හෙවත් ආරෝපිත අංශු පෘතුවියට මෙවැනි දේවල් ඇතුළු වීමට ඉඩප්‍රස්ථා නොදී ආරක්‍ෂා කරමින් සිටින චුම්භකගෝලයේ විශේෂයෙන්ම එහි ඇතුලත කලාපයක් වන The Van Allen radiation belt මගින් ග්‍රහණය කරගනු ලැබේ. එහෙත් චුම්භකගෝලයේ ඇති දුර්වල ස්ථානයකින් මෙම අහිතකර ආරෝපිත අංශු වායුගෝලයට ඇතුළුවීම සිදුවන අතර එසේ නැතත් ස්වල්පවශයෙන් හෝ මෙවැනි ආරෝපිත අංශු ඇතුළුවීමක් සිදුවේ.

The Van Allen radiation belt 
කොස්මික් කිරණ මගින් අපගේ වායුගෝලයේ (atmosphere) ඇති නයිට්‍රජන් හා ඔක්සිජන් අනු අයණීකරණය කරන අතර මේ නිසා රසායණික ප්‍රතික්‍රියා ගණනාවකට හේතුපාදක වේ. මෙයින් එක් අනිටු ප්‍රතිළුලයක් වන්නේ අපගේ පෘතුවියේ ඕසෝන් ස්ථරය හායනයට ලක්වීමයි. කෙසේවෙතත් මෙය සාමාන්‍ය තත්වයේදී නම්  මිනිසා විසින්ම නිකුත් කරන Chlorofluorocarbon (CFC) වලින් ඇතිවන හානියට වඩා අඩුතත්වයේ හානිකර තත්වයක් ඕසෝන් ස්ථරයට ඇති කරනබව පැවසේ.

මොනආකාරයෙන් හෝ ඕසෝන් ස්ථරය හානිවීමෙන් හා කොස්මික් කිරණ හෝ හානිකර ආරෝපිත අංශු අපගේ ග්‍රහලෝකයට ඇතුළුවීමෙන් ජීව විද්‍යාත්මක වශයෙන් ගත් කල හානිදායක තත්වයන් වන්නේ විවිදාකාරයේ පිළිකා විශේෂයෙන් චර්ම පිළිකා ආදිය, ස්නායු ආබාද, අක්‍ෂි ආබාද, තවත් විවිදාකාර රෝගබාද නිසා සිදුවිය හැකි මරණිය තත්වයන් මෙන්ම DNA අණුවල විවිද විකෘතිතාද ඇතිවේ. මේනිසා ජාන විකෘතිතා ඇති ජීවීන් බිහිවීමත් ඇතැම් ජීවීන් පොලෝතලයෙන් තුරන්ව යාමටත් හේතුවිය හැකිය.


කොස්මික් කිරණ නිසා පෘතුවියේ ජීවීන්ට මෙසේ බලපාන්නේ නම් අභ්‍යවකාශයේ සිටින අභ්‍යවකාශගාමීන්ට ඇතිවිය හැකි අහිතකර බලපෑම කිහිපගුණයකින් වැඩිබව අමුතුවෙන් කිවයුතු නැත. අභ්‍යවකාශගාමීන් මෙම Galactic cosmic rays (GCRs) වලට භාජනය වී අවධානම් තත්වයන්ට මුහුන දෙනවා මෙන්ම ඔවුන් භාවිතා කරන විද්‍යුත් උපකරණ හා ඔවුන් රැගෙන යානා, අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා චන්‍ද්‍රිකා යනාදියේ විද්‍යුත්  පද්දතීන්වලට හානි සිදු‍වීමෙන් සමස්ථ යානයම විනාශව යාම වැලැක්වීමට ‍නොහැකිවනු ඇත.(In 2010, a malfunction aboard the Voyager 2 space probe was credited to a single flipped bit, probably caused by a cosmic ray.)

එසේම පෘතුවියේ භාවිතා කරන විද්‍යුත්  පද්දතීන්වලටද කොස්මික් කිරණ නිසා යම් තාක් දුරකට හානි සිදුවේ. ඒ කොස්මික් කිරණ ආරෝපිත අංශුවලින් සමන්විත නිසා ඒවායේ ශක්තියෙන් සංගෘහිත පරිපථ (ICs) ආදියේ දෝශ සහගත ප්‍රතිඵලයන් ගෙනදෙන අතර මේ නිසා විද්‍යුත් මතක ගබඩාවන් (electronic memory devices) තුල ගබඩා කරන දත්ත විකෘති තාවයකට බදුන්වීම හා මධ්‍යම සැකසුම් ඒකක (central processing unit) වල ක්‍රියාකාරීත්වය බලාපොරොත්තුවන කාර්යක්‍ෂමතාවය නොලැබීමටද හේතුවිය හැක.තවත් දෙයක් වන්නේ කොස්මික් කිරණ හේතුවෙන් විදුලි කෙටීම සමග ඇතිවන ආරෝපණ හේතුවෙන් විදුලි පද්දතීන්ගේ බිදවැටීම්ද සිදුවීමයි.


තවද දේශගුණයට කොස්මික් කිරණ ඇතිකල හැකි බලපෑම නිසා සිදුවන විපර්යාස හේතුවෙන් නියං තත්ව, අධික වැසි වැනි සාධක නිසා ජනජීවිතය අවුලෙන් අවුලට පත්වීම මෙන්ම කෘෂිකර්මයද මෙබද කාලගුණික හෝ දේශගුණික අසාමාන්‍ය වෙනස්වීම් ‍හේතුවෙන් අකර්මන්‍ය වීමයි.

මෙම කරුණු ගැන සාකච්ඡා කිරීමට තව දේවල් බොහෝමයක් ඇතත් දැන් මෙම ලිපියට මදකට විරාමයක් තබන අතර 2012 ලෝක විනාශය යන සංසිද්ධියට හේතුවිය හැකියයි අනුමාන කරන ලද කාරණා ගැන ඉදිරිලිපියේදී තවත් කතා කිරීමට බලාපොරොත්තුවෙන අතරේම අද ලිපියෙන් කතා කල සූර්යය කුනාටු ආදියෙන් සිදුවන භයානක තත්වය ගැන සිනමාවෙන් අපට පෙන්වූ නිර්මාණයක් ගැන ඔබට කියන්නම්. 2009 දී තිරගත වූ මෙම චිත්‍රපටිය Knowing ඔස්කාර් සම්මානලාභී රංඟනශිල්පී Nicolas Cage ප්‍රධාන චරිතයෙන් දායක වන මෙම චිත්‍රපටිය නැරඹුවේනම් අද ලිපියෙන් කියා ඇති කරුණු ගැන යම් අවබෝදයක් ඔබට ලැබෙනු ඇත.

Thursday, July 14, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? ලෝක ව්නාශය සිදුවේද? - 8 කොටස

මෙම ලිපිය අරඹන්නේ කෙසේදැයි වෙනදා පැන නොනැගි ගැටළුවක් විය. මන්ද මේ වන විට අද ලිපියට අදාලව ලියා ඇති වෙනත් බ්ලොග් හෝ වෙබ් අඩවි රැසක් ඇති නිසා ‍ඒවාම නැවත නැවත ලිවීමෙන් ඇති ප්‍රයෝජනයක්ද නොමැති හෙයිනි. එසේම මේවන විට 2012 ලෝක විනාශය ගැන බොහෝදෙනා ලිවීමේදී එය මිනිසුන්ගේ නොහොබිනා කම්නිසා සිදුවන දෙයක් යන පොදු මෙන්ම බහුල මතවාදයක් නැවත රෝපණය කිරීමෙන් මෙහි ඇතුලාන්තය පිළිබද සාකච්ඡා නොවන නිසා එයද තේරුමක් ඇති දෙයක් නොවන නිසා අසීරු මෙන්ම ලියන මට මෙන්ම කියවන ඔබටද තේරෙන ආකාරයකට කරුණු එක් රැස් කර ගොනු කිරීමට තරමක කාලයක් වැය කරන්නට සිදුවුනි.

සත්‍ය වශයෙන්ම මායාවරුන්ගේ දිනදර්ශනය හා ඔවුන්ගේ දර්ශනය අනුව, එනම් ඔවුන් සිතූ පරිදි විශ්වය වසර 5000 ක් නැත්නම් හරියටම ඔවුන්ගේ Long Count Calendar අනුව නම් වසර 5126 කට වරක් විනාශවී නැවත ප්‍රතිනිර්මාණය වීම නැතහොත් ඔවුන් ලෝකය නිර්මාණය කරන ලද දිනය ලෙස සැලකූ ක්‍රි.පූ. 3114 අගෝස්තු 11 වන දින නැතහොත් 13.0.0.0.0 නැවත පැමිනෙන වසර ක්‍රි.ව. 2012 දෙසැම්බර් 21 වන දින  සිදුවේද? එහෙත් ඔවුන් පවසා ඇති ආකාරයටම මෙම සෑම විනාශයක්ම හා ඉන්පසුව ඇතිවන ප්‍රතිනිර්මාණයේදී කලින් පැවති විශ්වයේම අනුපිටපතක් ආකාරයෙන් විශ්වය නැවත පැවතීම යන මතය තර්කානුකූලව හා ප්‍රායෝගිකව සැලකූ කල  සනාථ වෙන්නේ භෞතික වශයෙන් සැ‍බෑ ලෙසම විනාශවීමක් සිදුවීම නොව යම් කාලපරාසයක් අවසන්වී නව කාලපරාසයක් පැමණීමයි. මන්ද කිසිවිටකත් පවතින දෙයක් සහමුලින්ම විනාශ වී නැවත එය කලින් තිබූ ආකාරයටම ප්‍රතිනිර්මාණය වීමක් විද්‍යාත්මක මෙන්ම සෛධාන්තිකවද ගත් කල කිසිවිටකත් සිදුවිය නොහැක්කක් හෙයිනි. එසේම කලින් ලිපියේදී එක් මිතුරෙක් දුන් කමෙන්ටුවකද මෙවැනිම තර්කයක් ගොඩනගා තිබුනි. එනම් මායාවරු පවසන ආකාරයට ක්‍රි.පූ. 3114 දී ලෝකය ඇරඹුනා යයි අප විශ්වාස නොකරන්නේ නම් එය 2012 දී විනාශ වේ යයි විශ්වාස කල හැකිද? 


මෙම කාලපරාසය අවසන් වී නැවත ඇරඹීම යනු මෙසේ උදාහරණයකින් දැක්විය හැක.  වාහනයක odometer පිළිබදව ඔබ දන්නවා ඇති. එමගින් ඔබ කොපමණ දුරක් වාහනය ධාවනය කර ඇත්දැයි දැනගැනීමට හැකි අතරම එය යම් දිනයක එහි සියළු සංඛ්‍යා "9" බවට පත් වූ කල එම සංඛ්‍යා සියල්ල නැවතත් "0" බවට පත්වනු විනා වාහනය තවදුරටත් ධාවනය කල නොහැකි හෝ එය විනාශයට පත් වීමක් සිදුනොවේ. මායාවරුන්ගේ දිනදර්ශනද මේ පරිදිම සිදුවීමකි.


දැන් ඔබ සමහර විට සිතනවා ඇති මෙබදු ආන්දෝලනාත්මක සිදුවීමක් මෙතරම් සරලව අවසන් කරන්න සැරසෙනවාද කියා. නැහැ. මෙයට අමතරව මෙම සිදුවීමට අදාල දිනය වන 2012 දෙසැම්බර් 12 වන දින නැතහොත් Doomsday ගැන සදහන් වන කරුණු බොහෝ ඇත. දැන් ඒවා එකිනෙක බලමු.


ගැලිලියෝ ගැලිලි
මායාවරු සතුව දුරේක්‍ෂ ‍නොතිබුනද ඔවුන් තාරක විද්‍යාව ගැන දැනුම ලබා තිබුනේ දුරේක්‍ෂය සොයා ගත් ගැලිලියෝ ගැලලිටත් පෙරයි (1564 - 1642). මායාවරු සිය ගණිත ඥානය හා තාරක විද්‍යාත්මක දැනුම යොදා තාරකාවන් හා ග්‍රහලෝකවල පිහිටීම හා හිරු පිළිබදව තොරතුරු සටහන් කරන කල්හි යුරෝපයේ තිබුනේ පල්ලියට නතුවූ ස්වභාවයක් වන අතර පාප්තුමාගේ නියමය වූයේ ලෝකය ගෝලාකාර නොව තැටියක් වැනි පැතලි දෙයක් වැනිය යන්නයි. මෙම මතයන් බැහැරකරලීම සදහා පෙරට ආ ගැලිලියෝ වැන්නන්ට අඩම්තේට්ටම් කරමින් ඔවුන් අකර්මන්‍ය කරන කාලයකදී තමයි මායාවරුන්ගේ පෞරානික ශිෂ්ඨාචාරය බිදවැටෙමින් පැවතුනේ. මෙවැනි විද්‍යාත්මක කරුණු අතින් දියුණු වට පත් ජනකොටසක් වූ මායාවරු එක් අතකින් කඩුවත්, අනිත් අතින් බයිබලයක් අතින් ගත් ස්පාඤය ආක්‍රමණිකයාට පරාජයවීමට මූලික හේතු ලෙස ගෙනහැර දැක්විය හැක්කේ ස්පාඤය සතුවූ ගිණිබලයට මුහුණ දිය හැකි බලයක් ඔවුන් සතු නොවීම මෙන්ම මායා ශිෂ්ඨාචාරය පුරා ඔවුන් මානව සම්පතෙහි වටිනාකම තේරුම් නොගනිමින් ම්ලේච්ඡ ලෙස සිය වර්ගයාම අර්ථ විරහිත බිලිපූජා සදහා විශාල වශයෙන් ඝාතනය කරමින් ගෙන ගිය ප්‍රතිපත්ති නිසා ඔවුන්ගේ පැවැත්ම ආරෝහණ මෙන්ම අව‍රෝහණ ලක්‍ෂන වලින්ද සමන්විත වී පැවතීමයි.

මෙලෙස තාරකා විද්‍යාත්මකව මෙන්ම ජ්‍යොතිශ විද්‍යාත්මකවද දැනුමෙන් සපිරුන මායාවරුන්ගේ දිනදර්ශනය අනුව ලෝකය විනාශය සිදුවී නැවත පුනරුප්පතිය ලබන දිනය වන 2012 දෙසැම්බර් 21 තවත් වැදගත් සංසිද්ධියක් සිදුවන දිනයක් විය. එනම් එදින Winter solstice හෙවත් උත්රාද්‍ර‍ගෝලයට ශිශිර සූර්ය නිවෘත්තිය සිදුවන දිනයයි. එනම් උත්රාද්‍ර‍ගෝලයට  හිරු දුරින්ම පිහිටන දිනය ලෙස සලකන දිනයයි.


එසේම මෙදින අතිදුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් සිදුවන අතර එය දල වශයෙන් වසර 26,000 කට වරක් පමණක් සිදුවන සිදුවන සිදුවීමක් බවද කියයි. එනම් මෙදින සූර්යයාගේ පිහිටීම ක්‍ෂීරපථය හෙවත් මන්දාකිනියේ හරස් ඡේදනය වන the galactic equator මත සමපාතව පිහිටීමද සිදුවේ. මෙම පිහිටීම මායාවරුන් සුවිශේෂ කොට සැලකූ අතර හිරු‍ගේ මෙම පිහිටීම හා එම දවසේ අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීමද අනුව මෙම සුවිශේෂ අවස්ථාව "the World Tree" නැතහොත් "the sacred tree of life"ලෙස හැදින්වූ‍හ. මෙම පූජනීය වෘක්‍ෂයේ මධ්‍යයේ පිහිටා තිබුනේ සූර්යයායි.

තව සුවිශේෂී කරුණක් වන්නේ මෙදින සවස 4.30 ට මායාවරුන්ගේ නිජබිමක් වූ මෙක්සිකොවේ Lzapa ට සූර්යයා දිස්වෙන බවට සලකනු ලබනුයේ මන්දාකිනියේ Great Rift හෙවත් Dark Rift ලෙස හැදින්වෙන අදුරු ධූලි වලාරැසකින් සමන්විත කලාපයේදී වන අතර මායාවරු මෙය Xibalba be නැතහොත් "Black Road" එසෙත් නැතහොත් "the birth canal"ලෙස හදුන්වා තිබේ. මෙම උප්පත්තියේ මඟ ලෙස හදුන්වා ඇති Dark Rift හිදී සූර්යයාගේ තෙවන නැවත ඉපදීම හෙවත් "the triple rebirth of the sun" සිදුවන බව මායාවරු විශ්වාස කලහ. එයද මෙම ලෝක විනාශය සිදුවී නැවත ලෝකය ප්‍රතිනිර්මාණය වීම යන මතවාදී සංසිද්ධිය සමග මනාව පෑහේ.


අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරු සහ අනෙකුත් ග්‍රහයන් දල වශයෙන් ගත් කල සම තලයක පිහිටා ඇති බව තාරකා විද්‍යාඥයන් පවසන අතර එය plane of the ecliptic ලෙස හදුන්වනු ලැබේ.


පෘතුවියට සූර්යයා වටා එක් වටයක් යාමට දින 365 ක් ගතවන අතරම පෘතුවිය උතුරු හා දකුණ යාකරමින් පවතින් සෛධාන්තික අක්‍ෂයක් වටා එක් වරක් භ්‍රමණය වීමට දල වශයෙන් පැය 24 ක් නැතහොත් දිනයක් ගතකරයි. මේ බව ඔබ කවුරුත් දන්නා සිදුවීමකි.

නමුත් අප එතරම් නොදන්නා කරුණක් වන්නේ පෘතුවිය සූර්යයා වටා ගමන් කරනා පථය මන්දාකිණියට සාපේක්‍ෂව අංශක 60 කට සාපේක්‍ෂව පිහිටීමයි. අනෙක් අතට කියතොත් පෘතුවිය මන්දාකිනියට අංශක 60 ක් ආනතව භ්‍රමණය වේ.



එසේම මෙම උතුර දකුන යාකරමින් පවතින අක්‍ෂයද සෙමෙන් පෘතුවිය තමන් වටා යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණය වේ. මෙම භ්‍රමණයේදී එක් අංශකයක් යෑමට වසර 72 ක් ගතවන අතර එය පූර්ණ වශයෙන් වටයක් යාමට නැතහොත් අංශක 360 යාමට දල වශයෙන් වසර 26,000 ක් ගත කරයි. මෙය සපැමිනෙන වසර Great year ලෙස හදුන්වනු ලබයි.
පහලින් පිහිටි ඊතලවලින් පෘතුවිය තමාවටා යන ගමන පෙන්වන අතර
ඉහලින් මුල් ගමන් රටාවට ප්‍රතිවිරුද්ධව පෘතුවි අක්‍ෂය භ්‍රමණය වන අයුරු

තවද  සූර්යයා එක් වටයක් ගමන් කරමින් යද්දී රාශිචක්‍රයේ, රාශි 12 ක්ද පසුකරමින් ගමන් කරයි.

මෙම Great year ලෙස හැදින්වෙන 2012 දී සිදුවන ජ්‍යොතිශ විද්‍යාත්මක කරුණක් වන්නේ එක් astrological age එකක් අවසන් වී නව  astrological age එකක් උදාවන බව විශ්වාස කිරීමයි ඒ අනුව බටහිර ජ්‍යොතිශ විද්‍යාව අනුව මීන රාශියේ (Pisces) සිට කුම්භ රාශියට (Aquarius) පිවිසීමද සිදුවේ.
(This signals the end of one  astrological age (the Age of Pisces) and the beginning of another (the Age of Aquarius)) 
Pisces
Aquarius
මේ කුම්භ රාශිය පිළිබදව ඒ ක්‍ෂෙත්‍රයේ දැනුම ඇත්තන් කියන පරිදි එම රාශිය විදුලිය, පරිගණක, පියාසැරීම, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානවහිතවාදීභාවය, විඥානවාදය, නවීකරණය, තාරකාශාස්ත්‍රය, ස්නායුගත ආබාධ, කැරලිගැසීම ආදිය පාලනය කරනු ලබන අතර අනුකූල නොවීම, පරාර්ථකාමීත්වය, සත්‍යවාදීභාවය, උට්ඨානවීර්යය හා අවිනිශ්චිතභාවයටද බලපාන රාශියකි.

මෙම ලිපියට සදහන් කිරීමට බලාපොරොත්තුවූ ඉතිරි කරුණු ඊලඟ ලිපියේදී කියවමු...

Monday, July 11, 2011

2012 දී සිදුවන්නේ කුමක්ද? මායා දිනදර්ශන - 7 කොටස

මෙතෙක් මායාවරු ගැන සටහන් කරගෙන ලිපි මාලාවේ අප ප්‍රධානම කොටසට ප්‍රවිශ්ඨව ඇත. එනම් 2012 මායා දිනදර්ශනය හා ඒ හා සබැදී ඇති 2012 දෙසැම්බර් 21 වන දින  ලෝක විනාශය ගෙන එන්නේ යයි කියන සිදුවීම බහුතරයක් දෙනා දන්නා නමුත් එහි ඇතුලාන්තය විමසීම හා ඒහා බැදී ඇති කරුණු කාරණා තරමක් ව්‍යාකූල ස්වභාවයක් ගන්නා නිසා ඒ ගැන ලිවීමේදීද යම් කරුණු ගැලපීමේ බාදාවන් ඇතිවීම සිදුවන නිසා මුලින්ම ඔවුන් භාවිතා කල දිනදර්ශන පිළිබදව කතා බහ කොට ඉන් අනතුරුව ඒවා මෙම සංසිද්ධියට නෑකම් කියන ආකාරය සලකා බලමු.
අපි මීට ‍පෙර මෙම ලිපි මාලාවේ සිව්වැන්න වූ මායාවරුන්ගේ අකුරුකරවීම ලිපියේද දල වශයෙන් සටහන් කල පරිදි මායාවරු භාවිතා කල එක් දිනදර්ශනයක් වූයේ සූර්යයා පදනම් කොට ගෙන සාදාගත් Haab නැතහොත් "vague" වසර දැක්වෙන දිනදර්ශනයයි. මෙය ඔවුන් භාවිතා කරන ලද සිවිල් දිනදර්ශනය ලෙසද සැලකේ. මෙම දිනදර්ශනය මුලින්ම ක්‍රි.පූ. 100 දී පමණ භාවිතයට ගෙන ඇතැයි සලකන අතර මෙය ඔවුන් සතුව තිබූ තවත් දිනදර්ශනයක් ලෙස සැලකෙන Tzolk’in සමග ඒ ඒ කටයුතු සදහා දින නිර්ණය කරගැනීමට යොදාගනු ලැබූ බවට සදහන් වේ.

මෙහිද අපි භාවිතා කරන Gregorian calendar නැතහොත්  Western calendar හෝ Christian calendar ලෙස හදුන්වන දිනදර්ශනයේ මෙන් දින 365 ක් තිබූ නමුත් එහි මෙන් මෙහි මාසයකට දින 30 ක් නොව දින 20 කින් යුතු මාස 18 ක දිනදර්ශනයක් හා එහි මෙන් ‍සිව්වසරකට වරක් අධික වර්ශයක් මෙහි දක්නට නොලැබින. කෙසේවෙතත් ‍මෙහි ප්‍රධාන වශයෙන් දින  කින් යුතු මාස 18 ට අමතරව දින 365 න් එම මාස 18 ට යෙදෙන දින 360 න් පසු ඉතිරිවන ඉතිරි දින 5 ඇතුලත් කුඩා මාසයක්ද ඇතුලත්විය. මෙම අවසානයේ ඇති දින  5ක මාසය u wayeb u haab (“sleepers of the year”) හෝ  ma k’aba k’in (“the nameless days”) ලෙස හැදින්වූ අතර ඒවා අවාසනාවන්ත දින ලෙස ඔවුන් සැලකූහ. එම දින තුලදී ඔවුන් නිවසින් බැහැරව යාම හෝ විශේෂ කටයුතු නොයොදා ගැනීමටද මායාවරු වගබලාගෙන තිබුනි.

ඔවුන් දිනයක් හැදින්වූයේ
kin ලෙසයි. Kin 20 කින් යුතු මාසය uinal විය. මෙවැනි uinal 18 කින් යුතු වර්ශයක් tun ‍නමින් හැදින්විය. දින 18 ක් මාසය තුල අඩංගුවුවද එය 1 සිට 18 දක්වා දින වලින් යුතු නොවූ අතර එය 0 (zero) සිට 17 දක්වා වූ මාස18 ක් විය. ඔවුන්ගේ ගණිතය අනුව ප්‍රධාන තැනක් ලැබුනේ විස්සේ පාදයට නිසා ඔවුන් අප මෙන් වසර 10 කින් යුතු දශකයට වඩා වසර 20 ක කාලය වැදගත් වූ අතර දළ වශයෙන් වසර 20 ක කාලය katun ලෙස හැදින්විය. එසේම මෙම ලිපියේ පසුව කියවෙන Long Count දිනදර්ශනයට යොදාගන්නා දීර්ඝ කාලසීමාවන් හැදින්වීම සදහා ප්‍රධාන වශයෙන් යොදාගත් ඒකකයක් වූයේ baktun යන්නයි. Baktun එකක් යනු katun 20 කාලයක් වන අතර එය දින 144,000 ක් හෙවත් දල වශයෙන් වසර 394 කි.

Haab දිනදර්ශනයේ පළමු මාසය pop නම්වු අතර අවසාන මාසය Kumk'u නම් විය '.    
ඉන්පසුව යෙදුනේ මින් පෙරද කියූ අවාසනාවන්ත දින ලෙස හැදින්වූ  wayeb මාසයයි. මාසයක දින නම් කර තිබුනේ දාතම අගය හා එම මාසයේ නමයි. එනම් පළමු මාසයේ දී නම් 0 pop (“the seating of Pop”), 1 pop, 2 pop, 3 pop ආදී ලෙසයි. දෙවන මාසයේදී නම් එම මාසයේ නම pop වෙනුවට යෙදින. මෙම මාස ගත්විට ඒ ඒ මාස ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු, අස්වැන්න නෙලා ගැනීම වෙනුවෙන්, දෙවියන්ට වැදුම් පිදුම් වෙනුවෙන් හා විවිද උත්සව කටයුතුවලට මෙන්ම ඇතැම් මාස විශේෂ අවස්ථා හෝ හේතුවලින් තොර ලෙසද පැවතින.
තවත් දිනදර්ශනයක් ඔවුන් භාවිතා කලහ. Tzolk'in නැතහොත් Sacred Round calendar නම් වූ මෙම දිනදර්ශනය ආගමික කටයුතු පදනම් කරගෙන තැනූවක් වන අතර මෙහි වසරකට දින 260 ක් හා මාසයකට දින 20 ක් අඩංගු වු මාස 13 ක් විය.  මෙම ශිෂ්ඨාචාරය පිළිබදව බොහෝ විද්වතුන් පවසන මතයනම් මෙම දිනදර්ශනය මායාවරුන්ගේ පැරණිම මෙන්ම වැදගත්ම දිනදර්ශනයද වේ.



මෙම පූජනීය කටයුතු සදහා නිමවා ඇති දින දර්ශනයේ එක් මාසයකට යෙදී ඇති දින 20 ට එක් එක් නාමයන් දී ඇති අතර එම නාමයන්ට අදාල ජීවිතයට, ‍ලෝකයට හෝ විශ්වයට අදාල යම් සංසිද්ධියක්ද ආරෝපණය කර තිබේ. 

මෙහි දිනයේ අගය සමග ඒ දිනයට අදාල නාමයද එක්ව භාවිතා කර ඇති අතර උදාහරණයක් ලෙස එක් මසක දින කියවෙන්නේ 1 Imix, 2 Ik’, 3 Ak’bal, 4 K’an, 5 Chikchan ආකාරයෙනි. මෙහිදී haab දිනදර්ශනයේ මෙන් පළමු දිනය 0 සිට නොව 1 සිට ගණනය කර ඇති අතර මෙහි haab මෙන් වසර ගණනය කිරීමක්ද සිදුකර නොමැත.

මෙම දිනදර්ශනය වෙන් වෙන්ම මෙන්ම මුලින් සදහන් කල Haab දිනදර්ශනයද එක්ව භාවිතා කිරීමෙන් ඔවුන්ගේ ඒ ඒ කටයුතු සදහා අවශ්‍ය දින සකස්කර ගැනීම් සිදුකරගෙන තිබෙන අතර මෙම දිනදර්ශන දෙකෙහි සංකලනය සිදුවී ඇත්තේ Gear mesh එකක් ආකාරයෙනි. 

මෙම යන්ත්‍රනයට අදාලව වසර එක් වරකට වසර 52 ක් එළඹෙන තුරු දින විවිද දින සංයෝජනයන් සිදුකර ගත හැකි අතර වසර 52 ක් ගතවූ තැන එක් වරක් ලැබුන දින සංයෝජනය නැවත වරක් ලැබේ. මෙම වසර 52 ක චක්‍රය Calendar Round ලෙස හැදින්වේ.

මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් Haab දිනදර්ශනයේ දින 365 කි. Tzolk'in දිනදර්ශනයේ දින 260 කි. ඒ අනුව මෙම දිනදර්ශන  දෙක අතර ඇතිවිය හැකි දින සංයෝජනයන් 18980 ක් ලෙස සැකකේ. මෙම දින 18980, වසර දින 365 ක් ලෙස සලකා එයින් බෙදූ කල වසර 52 ක් ලැබේ (18980/365).

(දින 18980 ක් පැමිනෙන්නේ 260 සහ 365 අගයන්ගේ කුඩා පොදු ගුණාකාරය (Least common multiple lcm) ලෙසයි. එය ගණනය කර ඇත්තේ මෙලෙස මෙම සමීකරණය යොදාගෙනයි එහි gcd යනු greatest common divisor - මහාපොදු සාධකයයි)

මෙම දිනදර්ශන දෙකට අමතරව දීර්ඝ ගණනය කිරීම් හෙවත් long count දිනදර්ශනයක්ද ඔවුන් සතුවිය. මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේදී ගොඩනැගූවක් වන මෙය ඔවුන්ට අතීතයේ දින මෙන්ම අනාගතයේ දිනද වැදගත් වූ බව කියයි. ඒ නිසා 20 පාදය පදනම් කරගත් දීර්ඝ ගණනය කිරීම්ද (long count) මෙම දිනදර්ශනවලට අදාලව ඔවුන් සිදුකල අතර ඔවුන් වසර මිලියන ගණනකට අදාලව ඒවාට නාමයන් ලබා දී ගණනය කර ඇත.
ඔවුන්ගේ දීර්ඝ ගණනය කිරීමට අනුව පලමු දිනය 0.0.0.0.0 ලෙස විය යුතුයි. එහෙත් ඔවුන් පළමු දිනය ලියන්නේ 13.0.0.0.0 ලෙසයි. එනම් එම දිනය ඔවුන් සලකන්නේ ලෝකයේ මිනිසා මැවූ දිනය හැටියටයි. මේ පිළිබදව හදාරා ඇති විශේෂඥයන් මෙම අගය අප භාවිතා කරන Gregorian දිනදර්ශනයට අනුව පරිවර්ථනය කරන ලද කල එම දිනය වන්නේ ක්‍රි.පූ.3114 අගෝස්තු 11 වන දිනයි. ඒ අනුව මෙම දිනය මායාවරුන්ට ‍අනුව ලෝකයේ ඇතිවූ මිනිසාගේ පළමුවැනි දිනයයි.
එසේම මායාවරු අපගේ විශ්වය විනාශවීම හා නැවත ප්‍රතිනිර්මාණය වීමක් පිළිබදව ඔබ මීට පෙර මෙම ලිපි මාලාවේ තෙවන ලිපිය ලෙස කියවන ලද ඔවුන්ගේ ආගම් පිළිබදව ලියවුන ලිපියේ සටහන් වූ අයුරු මතක ඇති. ඒ අනුව දල වශයෙන් ගතහොත් වසර 5000 කට වරක් මෙම විශ්වය විනාශවී නැවත ප්‍රතිනිර්මාණය වේ. ඒ අනුව ගත් කල වසර 5126 ක් ගිය තැන නැවතත් පළමු දිනය ලෙස සැලකෙන 13.0.0.0.0 නැවත පැමිනේ. මෙවර එම දිනය පැමිනෙන දිනය Gregorian දිනදර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වනදායි. තවඅතකින් කියතොත් එය දල වශයෙන් baktun 13 (baktun 13 = 394 x 13 = 5122)  ක කාලසීමාවකි. අපදන්නා ආකාරයකට කියන්නේ නම් එදින අපගේ සිත් බියට පත් කර ඇති ලෝක විනාශය සිදුවන දිනයයි.
එසේම මෙම දිනදර්ශන ත්‍රිත්වයට අමතරව ඔවුන් චන්‍ද්‍රයාගේ ගමන් චක්‍රයන්ද(lunar cycles) අධ්‍යයනය කොට ඇත‍. එමගින් ඔවුන් ඉදිරියේදී සිදුවන චන්‍ද්‍රගහ‍රහණයන්  හෝ සග්‍රහණයන් පිළිබදවද විමර්ශනය කර ඇති අතර සිකුරු හෙවත් ඔවුන්ගේ බසින් Chak ekලෙස හෝ “Great Star” පිළිබදවද ගෞරවාන්විත හැගීමක් මායාවරු තුල තිබී ඇත‍. එයට හේතුව එය යුද්දයට හේතුවන අකාශවස්තුව ලෙස ඔවුන් හැදින්වීමයි (“a bringer of misfortune, bad omens, and war”).  එය අහසේ දිස්වූ කල යුද්ද සහ වෙනත් බිහිසුනු ක්‍රියාකරකම්වලට මායාවරු යොමුවී ඇත. එසේම ඔවුන් සතුව තවත් දිනදර්ශනයක් තිබූ බව කියන අතර ඒ මෙම සිකුරු ග්‍රහයා අහසේ දිස්වන කාලවේලාවන් හා දිනයන් මෙන්ම එහි පිහිටීම දැනගැනීම සදහායි.

මෙම Venus නැතහොත් සිකුරු ග්‍රහයා පදනම් කරගත් දිනදර්ශනය දින 584 කින් යුතුවූ වසරක් නැතහොත් දින 584 කට වරක් සිකුරු ග්‍රහයා සවසට දිස්වෙන කාල චක්‍රයක් (Venus cycles) ඇතුලත්වූහ. එසේම මෙම Venus cycles 5 ක් Haab 8 කට සමාන බවද ඔවුන් සැලකූහ (584 x 5 = 365 x  8 = 2920).

තව වැදගත් කරුණක් වන්නේ මායාවරුන්ට අමතරව මෙම ඇමරිකානු මහද්වීපය තුල විසූ අනෙකුත් පුරාතන ශිෂ්ඨාචාරයන් වන ඇස්ටෙක් හා ඉන්කා වැනි ශිෂ්ඨාචාර සතුවද දිනදර්ශන පැවතීමයි. මායාවරු ගත් කල ඔවුන් සිය දිනදර්ශන ඔවුන් ගොඩනැගිලි හා වෙනත් ස්ථානවල කරන ලද පින්තාරු කිරීම්වලදී, පිඟන් බදුන් ආදියේ හා
stela ලෙස හැදින්වෙන පුවරුවල සටහන් කල අතර ඔවුන් කිසිවිටක ඒවා පාශාණ කැටයම් ලෙස නොපවතින බව කියයි. ඒ අනුව ගත් කල අප බොහෝවිට දකින වෘත්තාකාර කැටයම් සහිත ශීලා දිනදර්ශනය මායාවරුන්ගේ නොව එය පසුකාලීනව සංචාරකයන්ගේ නෙත් ඇදගැනීම පිනිස නූතන නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද ඇස්ටෙක් හා මායාවරුන්ගේ Haab දිනදර්ශනයේ එකතුවක් බවද පැවසේ.

‍එසේ නම් මෙම මායාවරුන්ගේ දිනදර්ශන සමග ලෝක විනාශයට එය ඈදෙන ආකාරය මීලග ලිපියේදී බලමු.