Saturday, February 19, 2011

ගොපළු කොළුවා නැතහොත් දඩබ්බර පොලිස්කාරයා

මම කියන්න හදන කෙනා ගැන ඔබ දන්නවා. එයා තමයි ඔබලා දැන් වසරකට හෝ කිහිපයකට පමණ පෙර හෝ නරඹපු Million Dollar baby, Mystic River වගේම Letters from Ivo Jima, Unforgiven සහ තවත් සම්මානනීය සිනමා සිත්තම් තිස්පහක අධ්‍යක්‍ෂකවරයා නැතහොත් නියමුවා මෙන්ම චිත්‍රපටි හා රූපවාහිනී වාර්තාමය චිත්‍රපටි තිස් හතරක බර පැන දරන්නා හෙවත් නිශ්පාදකයා. මෙයා තමයි බටහිර සිනමාවේ 1950 දශකයේ සිට 1990 දශකය දක්වාම ‍ගොපළු කොල්ලාගේ චරිතයට අපට දැනෙන ලෙස පණ පොවපු Clint Eastwood කියන ජ්‍යෙෂඨ සිනාමාවේදියා.

මම නම් මුලින්ම මෙම රංගධරයා දැක්කේ අපේ ගම් පියසේ තිබුන සිනමා ශාලාවක පෙන්වූ The Rookie කියන චිත්‍රපටියෙන්. ඒ 1995 දී. එතකොට Eastwood තාරුන්‍ය හමාර කල වයෝවෘද නළුවෙක්. ඉන් ටිකකලක් යනකම් මට මෙම නළුවා පිළිබද එතරම් මතකයක් වත් තිබුනේ නැහැ. නමුත් අප රටේ පලවන ඩයිජස්ට් වර්ගයේ සඟරාවක මෙම මිනිසා පිළිබද දීර්ඝ ලිපියක් දැකීමෙන් මොහු කොතරම් වටිනා කලාකරුවෙක්ද යන්න ඒත්තුගියා.

ඉන්පසු ටික කාලයකට පසු මට මුලින්ම දකින්නට ලැබුනේ Clint Eastwood, 1965  දී රඟපෑ For Few Dollars more චිත්‍රපටියයි. බැංකු මංකොල්ලයක් හා ඒ එක්කම පලිගැනීම යන කාරණා සමග මුසුවූ මෙම සිත්තම සැබැවින්ම ස්වාභාවිකම ගොපළු චිත්‍රපටියක් කිව්වත් වැරැද්දක් නැහැ.


මෙම චිත්‍රපටිය පුරාවටම Clint Eastwood ට අදාල චරිතයට දී ඇති නමක් ගැන සදහන් නොවන අතරම එනිසාම ඔහු මෙහදී බොහෝවිට හැදින්වුනේ "A man with no name" ලෙසයි.

මෙම චිත්‍රපටියේ මම ඇද බැද ගත් ප්‍රධානම සංසිද්ධිය මෙහි සංගීතය කිව්වොත් ඔබ පිළිගන්නවාද? ඔව් මම බලා ඇති චිත්‍රපටි අතරින් අතිවිශිෂ්ඨතම සංගීත කණ්ඩය තිබු චිත්‍රපටිය මෙයයි. ‍මෙම සංගීත කණ්ඩය ඔබත් අසා තිබෙනවා. මම කියන්නේ බොරුදැයි බලන්න. මම චිත්‍රපටියට වඩා වාර සංඛ්‍යාවක් බලා ඇත්තේ එම සංගීත කණ්ඩ ඇති කොටසයි. මෙන්න සංගීත අධ්‍යක්‍ෂක Ennio Morricone ගේ නිර්මාණයක් වූ එම කන්කළු සංගිත කණ්ඩය.

දෙවනුව මට බලන්න ලැබුනේ මෙම චරිතයටම සමාන සහ කතාවටත් යම් සමාන කමක් ඇති 1964 දී තිරගතවූ
A Fistfull of Dollars චිත්‍රපටියයි. එහිද A man with no name අන්වර්තයට ගැලපෙන සේ චරිත නිරූපණයක් දැකගත හැකිවූ අතරම තේමා සංගීතයද පෙර  කී Ennio Morricone ගේම වූ අතර එයද විශිෂ්ඨ එකක් විය.


ඉන්පසුව මෙම එක සමාන කතා දෙකටම තවදුරටත් නෑකම් කියන The Good, the Bad and the Ugly චිත්‍රපටියයි. මෙම 1966 දී තිරගතවූවක් වූ අතර චරිතයේ ස්වරූපය පෙර නිර්මාණ දෙකට සමාන කමක් කීවද කතා තේමාව වෙනස් ආකාරයක් ගෙන තිබුනි.
සංගීතය පෙර සංගීත අධ්‍යක්‍ෂකවරයාගේම කන්කළු නිර්මාණයක්වූ අතර මෙම චිත්‍රපටි තුනේම නියමුවා වූයේ දැන් ජීවතුන් අතර නොමැති Sergio Leone වේ.

ඉන් පසුව එකම චරිතය චිත්‍රපටි කිහිපයකම දක්නට ලැබුන දඩබ්බර පොලිස්කාරයාගේ භූමිකාවට පණ දුන් Clint, Dirty Harry හෙවත්  Harry Callahan ගේ චරිතය රැගත් Dirty Harry (1971)Magnum Force (1973), The Enforcer (1976), Sudden Impact (1983) සහ The Dead Pool (1988) යන චිත්‍රපටි පහ පුරා දක්නට ලැබුනි.

යුක්තිය පසිදලීම සදහා අපරාධකරුවන්කෙරේ කිසිදු අනුකම්පාවක් නොදක්වන නාහෙට අහන්නේ නැති පොලිස් නිලදාරියෙකුගේ චරිතය මතක හිටින සේ මේ කතා මාලාව තුලදී දැකගත හැකි විය.

මේවාට අමතරව කැපී පෙනෙන චිත්‍රපටි රැසකටද මෙම කතානායකයා දායක විය. ඒ අතර  The Outlaw Josey Wales, Pink Cadillac සහ තවත් විවිද විවිද අන්තයන් කරා ගිය චරිත රැසක් දැක ගන්නට හැකියි.

ඒ එක්කම මෑතක ඔහු රඟපෑ Blood Work, Gran Torino වගේ නිර්මාණවලදී තමන් දැන් වයෝවෘද අයෙකුවටහා ගෙන රගපෑම ප්‍රශංසනීයයි.මොකද සමහර නළුවන් තමන් කොතරම් වයසට ගියත් කොල්ලාගේ චරිතය රඟපෑමට ගොස් හාස්‍යයට ලක්වීමට බොහෝ චිත්‍රපටි වල දක්නට පුළුවන්. Gran Torino දී Eastwood බොහොම ගොරෝසු හඩින් ගීයක් ගයනවාත් අසන්නට හැකියි.

Clint Eastwood යනු වර්තමාන  ෙහාලිවුඩ් සිනමාව තුල දැවැන්ත චරිතයක් එසේත් නැතහොත් ජීවමාන පුරාවෘතයක් කියා කිවුවත් වරදක් නැහැ. රංගනයට ඇගයීම කෙසේ වෙතත් අධ්‍යක්‍ෂනයේදීනම් ඔහුට ලැබී ඇති තත්වය ඉහලයි.

ඒ කාර්යය සහ සාර්ථක සිනමා සිත්තම් ලොවට දායද කිරීම වෙනුවෙන් ඔහුගේ නමට ඔස්කාර් සම්මාන පහක් ලියවී තිබෙනවා.
ඒ අතරින් අධ්‍යක්‍ෂනයට අමතරව රංගනයෙන්ද දායක වූ Unforgiven  කාලයක් රසවිදිය හැකි චිත්‍රපටියක්.
දැන් මෙම ලිපියේ අවසානභාගයේදී Clint Eastwood ගේ ජීවිතය පිළිබදවද සුළුවෙන් කියන්නම්. 1930 මැයි 31 වන දින ඇමරිකාවේ උපත ලැබූ ඔහු පසුව හමුදාවට බැදී කොරියන් යුද්දයටද සම්බන්දවුනා. පසුව හමුදාවෙන් ඉවත්ව ජීවිතාරක්‍ෂකයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු මුලින්ම කැපී පෙනෙන රංගනයක් දැක ගන්නට ලැබී ඇත්තේ 1959 සිට 1965 දක්වා රගපෑ Rawhide රූපවාහිනි කතා මාලාව තුලිනුයි.
Rawhide
පසුව ගොපළු චිත්‍රපටිවල නොමැකෙන මතක සටහන් තැබූ ඔහු රංගනයේදී Makeup වලින් තොරව ස්වභාවික අයුරින්ම රගපාන නළුවෙකුලෙසද නමක් දිනාගත්තා.

එසේම දේශපාලන කාර්යයන්වලද නිරතවූ ඔහු 1986 දී Callifornia වේ Carmel නම් කුඩා නගරයේ නගරාධිපතිවරයා ලෙසද පත්වී තිබෙනවා.

තවමත් සිනමා කර්මාන්තයේ නියැලෙන මෙම අද්විතිය මිනිසා තව තවත් නොමැකෙන මතකයන් අප අතර ඉතිරිකරනවා නිසැකයි.

14 comments:

  1. මමත් ප්‍රිය කරන නලුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක්. The bridges of madison county චිත්‍රපටයේ ඔහුගේ රංගනයට මම වඩාත් කැමතියි.

    unforgiven චිත්‍රපටයත් මගේ සිත් ගත් එකක්. ඊට අමතරව ඊස්ට්වුඩ් සිරකරුවකුගේ චරිතයක් රඟන Escape from Alcatraz කියන චිත්‍රපටයත් මෑතකදී හොඳ උනන්දුවකින් බලපු චිත්‍රපටයක්.

    ReplyDelete
  2. මමත් Escape from Alcatraza බලල තියෙනවා. ඒකත් හොදයි. හැබැයි ඒක copy කරලද දන්නෑ shoshwank Reduption කියබ චිත්‍රපටිය හැදුවේ. ඒකත් Escape from Alcatraza වගේමයි. හැබැයි shoshwank Reduption ඉදිරියෙන් ඉන්නවා වගේ.

    ReplyDelete
  3. ඔව් පළායන්න කරන සැලසුම් බොහොමයක වගේ සමානකම් තිබ්බා. අර කලිසම් කකුල් වල පස් දාගෙන යන ඒව වගේ.

    ඇත්ත. සමස්ත චිත්‍රපටය ගත්තහම shawshank එක සෑහෙන ඉදිරියෙන් ඉන්නව.

    චිත්‍රපටය ගැන ලිවීමට අමතරව තව නොදත් සහ රසවත් තොරතුරු එකතුකරමින් ලියන මේ ලිපි මරු. දිගටම ලියන්න.

    ReplyDelete
  4. එකිනෙකට වෙනස් මාතෘකා ගැන ඒ ඒ විෂය පතයට සම්පූරණ සාදාරනය ඉ‍ටුකරමින් ඔබ ලියන ලිපි ඇත්තටම කියවන්න වටිනා මෙන්ම, එය අවංකවම මෝඩ ආතල් දෙන සමහර බ්ලොග් කරුවන්ට පාසලක් බඳුයි, ඉතාම වටිනව සහොදරය, එකිනෙකාට වෙනස් විෂයන්ට අදාල පුද්ගලයන්ට මෙතන ගොඩක් හොඳ තැනක් විවෙකී වෙලාවට ඇවිත් යන්න. ඒවගේම මම මේ බ්ලොග් එකට නිතරම එනව වගේම නිතර යන එනතැනක් තමයි මේ(http://arunishapiro.wordpress.com), ඔයත් යන්න, ගොඩක් හරවත් ලිපිතියෙනව. ඔයා සමහර විට දැනටමත් ගිහින් ඇති, ඒවගෙම පහත අංක දෙක යටතේ තියෙන ලින්ක් එකටත් පොඩ්ඩක් ගිහින් බලන්න දෙන වැරදි ආදර්ශවල හැටි. ස්තූතී සහෝ

    2)http://johnbassme.blogspot.com/2011/02/2.html?showComment=1298135704942#c7464701403377975906

    ReplyDelete
  5. @Raven - ස්තූතියි! සහෝදරයා...

    ReplyDelete
  6. @සංහිද පාමුල - ස්තූතියි! ඇත්තෙන්ම කොදෙව්වක ජීවත්වන අප දන්නා දේ බොහොම අඩුයි කියන මතයේ මම දැනුම් තේරුම් ඇති කාලයේ සිටම විශ්වාස කලා. පුවත්පතක ගත්තත්, සඟරාවක ගත්තත් යම් මාතෘකාවක් ගැන කතා කරල තියෙන්නේ යම් අඩුවක් එක්ක වගේම සමහර හරවත් මාතෘකා සංවාදයට ගැනෙන්නේ නැති බව හොදින් බැළුවොත් පෙනී යාවි. ඇත්තෙන්ම බ්ලොග් එක ජනප්‍රිය කරගන්න විවිද උපක්‍රම භාවිතා කල හැකියි. සමහර ඒවා අහිංසක, සදාචාරයට ඔබින වගේම එයින් ප්‍රතිවිරුද්ධ දේවල් වුනත් යොදා ගන්න පුළුවන්බව ඕන කෙනෙක් පිළිගනීවී. මමත් ඉඩලැබෙන අවස්ථාවල සියළුම ආකාරයේ බ්ලොග් කියවනවා. සමහරවිට සත් සමුදුරට එන්නේ සුළු පිරිසක් වෙන්න පුළුවන්. නමුත් මම අදහස් කරන්නේ යම් හරවත්බවක්, ඕනෑම වයසක කෙනෙකුට සහ පිරිමි ගැහැනු දෙකොටසටම බය නැතුව යන්න එන්න පුළුවන් කමක් වගේම කාලෙකට පස්සෙවුනත් ඇවිල්ල යමක් ගන්න හැකි ආකාරයේ සඟරාමය දෙයක් ගොඩනගන්නයි. ඉදිරියටත් කාටවත් දැනුවත්ව හානියක් නොවන ලෙස එය ඉටු කිරීමට සිතා සිටිනවා.

    ReplyDelete
  7. කාලෙකින් මේ පැත්තෙ ආවෙ ඊස්ට්වුඩ් ගැන කතානොකර බැරි නිසා. මමත් අතිශය ප්‍රිය කරන රංගධරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ඔහු නිර්මාණය කරල විවිධ නිර්මාණ දිහා බැලුවම ඔහුගේ නිර්මාණාත්මක පරාසය අති විශාල බව පේනව. මටත් මුලින්ම ඔහුව හමුවෙන්නෙ අවුරුදු 8-9කට විතර කලින් රේවන් කියපු The bridges of madison county චිත්‍රපටිය රූපවාහිනියෙ විකාශය වුණ වෙලාවෙදියි. පසුව මොහු ගැන දැනගත්තම මම පුදුමත් වුණා රූපවාහිනියෙ එහෙම එකක් ගියා නේද කියල හිතුණම.

    පසුසෙ මට නැවතත් ඔහුව හමුවෙන්නෙ Million Dollar Baby හරහා. ඒකේ ඔහු මගේ ප්‍රියතමයෙක් වෙනව. පසුව ඔහුගේ නිර්මාණ සොයමින් මම ඒව රස විඳිනව. ඒ අතරින් ඔයා කියල තියෙන ගොපළු චිත්‍රපටි සෑහෙන්න ආසාවෙන් නැවත නැවත තවමත් රස විඳිනව.

    ReplyDelete
  8. Million Dollar baby nam sira mara lassanai..

    ReplyDelete
  9. @hare & Shane - Eastwood ගේ තවත් රසිකයන් හදුනාගන්න ලැබීමත් සතුටක්...

    ReplyDelete
  10. බොහොමත්ම ස්තූතියි අර සංගීත කණ්ඩයට...
    නං වශයෙන් කියන්න මතකයක් නැති උනාට මාත් ඔහුගේ කව්බෝයි ෆිල්ම් ටිකනං ඔක්කෝම වගේ බලලා තියෙනවා...

    ඔබට මා පෙර දිනක කියූ මෑන් විතවුට් ෆේස් ෆිල්ම් එක හම්බ උනාද..?

    ReplyDelete
  11. @මාරයාගේ හෝරාව - අද කාලේ තවත් ඊස්ට්වුඩ් රසිකයෙක් දැන ගන්න ලැබීමත් සතුටක්. මේ දිනවල තාක්‍ෂනික දෝශ රැසක් නිරාකරණය කරමින් සිටින නිසා මෑන් විතවුට් ෆේස් තවම සොයාගන්න හැකිවුනේ නැහැ. සති අන්තයේ එය සොයාගන්නයි සිතා සිටින්නේ...

    ReplyDelete
  12. ශ්‍රීමාල්September 11, 2011 at 1:40 AM

    ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපටි ගොඩක් මම නරඹල නෑ. එත් Million Dollar Baby ච්ත්‍රපටය නම් නැරඹුවා. ඒක ඉතාමත්ම සංවේදී චිත්‍රපටයක්. ක්ලින්ට්ගේ ච්ත්‍රපටවලින් තොරාගත් ඒව කීපයක් ඉස්සරහට බලන්න දාගෙන ඉන්නේ. බලපු ඔහු සම්බන්ධ වෙච්ච චිත්‍රපට කීපය ගැනහිතුවොත් ඔහුගේ අධ්‍යක්ෂණය ඉතාමත්ම ඉහල මට්ටමේ කියල හිතුන. විශේෂයෙන් චිත්‍රපටය ඇඩකමි සම්මාන ගත්තේ හොදම අධ්‍යක්ෂණයට. ඒ වගේම ඔහු හදපු Invictus චිත්‍රපටයත් ඉතාමත් විශිෂ්ඨ ගනයේ එකක්. ඒ චිත්‍රපට දෙකම මම බලන්න පෙලඹුනේ මගේ ප්‍රියතම නළුව වෙච්ච මොර්ගන් ෆීමන් හින්ද. මම ඉල්ලනව පුලුවන්නම් මෝර්ගන් ගැනත් ලිපියක් ලියන්න කියල. විශේෂයෙන් Million Dollar Baby, Invictus, Unforgiven ච්ත්‍රපට තුනේම ක්ලින්ට් එක්ක මොර්ගන් වඩාත් සහයෝගයෙන් වැඩකරනව.

    ReplyDelete
  13. write about meryl streep too

    ReplyDelete
  14. මගෙ ආසම ... නියමයි ගොඩාක් ස්තුතියි ආළු

    ReplyDelete